කොඩියේ වෙනසකට ජනමත විචාරණයක් - නවසීලන්තය


නවසීලන්තය සිය ජාතික ධජය වෙනස් කරනවාද, නැද්ද යන්න පිළිබඳ ජනමත විචාරණයක් පවත්වන බව එරට අගමැති ජෝන් කී නිවේදනය කරයි.

ඒ අනුව, අගමැතිවරයා එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා ජනමත විචාරණය පැවැත්වීමට දින නියම කර ඇත.

නවසීලන්තයේ දැනට පවතින ජාතික ධජයේ දකුණු කුරුස තාරකා රාශිය මෙන්ම, බ්‍රිතාන්‍ය ධජයද පැත්තකින් දක්නට ලැබෙයි.

දැනට පවතින ජාතික ධජයෙන් එරට ඉතිහාසය නිරූපණය වීමක්ද දැකිය හැකි බව පවසන ජෝන් කී අගමැතිවරයා, එරට යටත්විජිත යුගය මෙන්ම, ඉන් පසුව ගෙවීගිය යුගය ඒ නිරූපණයන් අතර පවතින බවද කියයි.

වත්මන් ධජයේ පැත්තකින් බ්‍රිතාන්‍ය ධජයේ කොටසක්ද තිබීම තුළ බ්‍රිතාන්‍ය විසින් නවසීලන්තය අභිභවා සිටීමක් නිරූපණය වන බව පවසමින් හෙතෙම අවධාරණය කළේ, තවදුරටත් බ්‍රිතාන්‍ය විසින් නවසීලන්තය අභිභවා නොසිටින බවයි.

ඒ අනුව, වර්තමානයේ නවසීලන්තය බුක්ති විඳින නිදහස තුළ නව ධජයක් රටට අවශ්‍ය බවද අගමැතිවරයා පවසා සිටියි.

මේ අතර, නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් ධජය ජාතික ධජය සඳහා සුදුසු බවටද මීට පෙර යෝජනා වී තිබුණි. කෙසේ වෙතත් ඒ වෙනුවෙන් අලුත් යෝජනාවන් බලාපොරොත්තු වන බවද, ඊට පෙර ඒ සඳහා රටේ ජනමතය තීරණය විය යුතු බවද ජෝන් කී අගමැතිවරයා පෙන්වා දෙයි.



Recommended Articles