කිරිගිස්තාන ජනාධිපතිවරයාගේ බාල දියණිය තම බිළිඳාට මවුකිරි ලබාදෙන ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයට මුසු කිරීමත් සමග ඒ පිළිබඳ බලවත් විරෝධයක් එරටින් එල්ල වී තිබේ.
ආලියා ෂාගීවා මෙම ඡායාරූපය සමාජජාල වෙත මුදාහැර තිබුණේ, 'මගේ දරුවාට මවුකිරි අවශ්‍ය වෙන කොයි මොහොතේ, කවර තැනකදී වුවද මම දරුවාට මවුකිරි ලබාදෙනවා' යන වැකියක්ද සමගිනි.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපය සදාචාර විරෝධී ඡායාරූපයක් ලෙසට එරටින් එල්ල වූ විරෝධය හේතුවෙන් ඇය එය සමාජජාලයෙන් ඉවත්කර ගෙන තිබුණත්, බී.බී.සී.ය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පවසා තිබුණේ කාන්තාවන් ලිංගික භාණ්ඩයක් ලෙස දකින සමාජයක ප්‍රතිඵලයක් ලෙස ඊට විරෝධය එල්ල වීම පුදුමයට කරුණක් නොවන බවයි.
"මා දරුවාට මවුකිරි ලබාදෙන ඡායාරූපය කිසිම ආකාරයකින් ලිංගිකත්වය උද්දීපනය වන ඡායාරූපයක් නොවෙයි. එය දරුවාට මවුකිරි ලබාදීමේ කාර්යය පමණයි. ඒ වගේම මගේ දරුවාට මවුකිරි අවශ්‍ය වන මානසික තත්ත්වය තෘප්ත කිරීමක් පමණයි. එහි කිසිම ආකාරයක ලිංගික උද්දීපනයක් නැහැ" ඇය පවසයි.
කෙසේ වෙතත්, මෙම ඡායාරූපයට විරෝධය පෑ පිරිස් අතර ඇගේ දෙමවුපියන් වන කිරිගිස්තාන ජනාධිපති අල්මාස්බැක් අටම්බයේව් සහ ඔහුගේ බිරිඳ ද වීම විශේෂත්වයකි.
"ඇත්තටම මගේ දෙමවුපියන් වුණත් ඒ ඡායාරූපයට කැමති වුණේ නෑ. නමුත්, එහි වරදක් මා දකින්නේ නැහැ. මොකද අද පරම්පරාව, එදා පරම්පරාව වගේ ගතානුගතික පරම්පරාවක් නොවෙයි" ඇය වැඩිදුරටත් පවසා සිටියි.
ඡායාරූපකරණයට පෙම් බඳින ඇය, චිත්‍ර කලාවටද එකලෙස දක්ෂතා දක්වන බවද සඳහන් වෙයි. කෙසේ වෙතත්, මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළද මන්ත්‍රීවරියක් සභාවාරය අතරතුර තම දරුවාට මවුකිරි ලබාදීමක් පසුගියදා වාර්තා වී තිබුණි.