උතුරු කොරියාව පසුගිය සතියේ අත්හදා බැලූ නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය යැයි සැකකළ හැකි දර්ශනයක් ජපානයට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක කාර්ය මණ්ඩලය දැක ඇති බව කැතේ පැසිෆික් ගුවන් සමාගම පවසයි.
මෙම යානය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට දකුණු කොරියාවේ සෝල් නුවර දක්වා ගමන් කරමින් තිබූ යානයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, එම සමාගම පවසා ඇත්තේ මිසයිලය වායු ගෝලයට යළිත් ඇතුළු වන ආකාරයේ දර්ශනයක් තම කාර්ය මණ්ඩලයට නිරීක්ෂණය වී ඇති බවයි.
පසුගිය නොවැම්බර් 29 වැනිදා දියත් කෙරුණු මෙම නවතම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය එරට මිසයිල වැඩපිළිවෙළෙහි ඉහළම උන්නතාංශයක් ලබාගත් මිසයිලය වන අතර, එය ඇමෙරිකාවට වුවද ඕනෑම අවස්ථාවක පහරදිය හැකි අවියක් බවට උතුරු කොරියාව උදම් ඇණුවේය.
මෙවර මිසයිල අත්හදා බැලීමේදී ජපාන භූමියට ඉහළින් පියසර කිරීමක් සිදු නොවූවත්, ජපාන මුහුදට එම මිසයිලය පතිත කර තිබේ.
කෙසේ වෙතත්, උතුරු කෙරියානු පාලනයට අන්තර් ජාතික සිවිල් ගුවන්සේවා දත්තවලට ප්‍රවේශ වීමේ හැකියාව ඇති බැවින් කවර ආකාරයේ හෝ අත්හදා බැලීමකට ප්‍රථම ගුවන් සීමාව අධ්‍යනය කළ හැකිය.
එහිදී, යම් අනතුරක් සිදුවීමකට ඇති අවස්ථාව ඉතා අවම වුවද, ගුවන් සමාගම් මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.
පසුගිය අගෝස්තු මාසය මුලදී තම යානයක් උතුරු කොරියානු මිසයිල මාර්ගයට ආසන්නයෙන් පියාසරකර ඇතැයි හෙළිවීමත් සමග ප්‍රංශ ගුවන් සේවය උතුරු කොරියාවට ආසන්න ඔවුන්ගේ තහනම් ගුවන් කලාපය පුළුල් කළේය.