ක්‍රිමියා පුරාවස්තු යුක්රේන රජයට ලබාදීම තීන්දු වෙයි


නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් අධිකරණය විසින් එරට කෞතුකාගාරයක් වෙත ලබාදී තිබූ ක්‍රිමියානු පුරාවස්තු කිහිපයක්, ක්‍රිමියාවට නොව, යුක්රේනයට බාරදෙන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

2014 වසරේ මාර්තු මාසයේදී රුසියාව විසින් ක්‍රිමියාවේ පාලන බලය සියතට ගත් අතර, එම අවස්ථාව වනවිට මෙම පුරාවස්තු ඇම්ස්ටර්ඩෑම් නුවර ඔලාද් පියර්සන් කෞතුකාගාරයේ ප්‍රදර්ශයට තබා තිබුණි.

එහිදී, මෙම පුරාවස්තු යළි ලබාදෙන ලෙස ක්‍රිමියාවේ කෞතුකාගාර හතරක් විසින් ඉල්ලීම් කර තිබූ අතර, මෙය යුක්රේන රජයේ වත්කමක් බව යුක්රේනය පවසා තිබුණි.

ඒ අනුව, මෙය අධිකරණය දක්වා ගිය අතර, පසුව යුනෙස්කෝ නීතිය අනුව ස්වෛරී රාජ්‍යයක් ලෙස සැලකෙන යුක්රේනය වෙත පුරාවස්තු බාරදීමට නියෝග කෙරුණු බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, වසර දෙකක කාලයක් මෙම පුරාවස්තු බලාගැනීම සම්බන්ධයෙන් යූරෝ 110,000ක මුදලක් ගෙවන ලෙසද යුක්රේනයට නියෝග කෙරුණු බව වැඩිදුරටත් පවසයි.



Recommended Articles