ක්‍රිමියා ජනමත විචාරණය ගැන UN ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රථම වරට රුසියාව තනි වෙයි


යුක්රේනයේ ක්‍රිමියා කලාපයේ හෙට පැවැත්වීමට නියමිත ජනමත විචාරණය දෝෂදර්ශනයට ලක්කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ගෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ එකම රට බවට රුසියාව පත්විය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ වූ සියලු ප්‍රබල රටවල් මීට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර, රුසියාවට මිතුරු චීනය පවා ඡන්දය දීමෙන් වැලකී සිටීමෙන් නිල නොලත් අන්දමේ අනතුරු ඇඟවීමක් රුසියාව වෙත සිදුකර ඇත.

ක්‍රිමියා කලාපය රුසියාව සමග එක් වෙනවාද, නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින් මෙම ජනමත විචාරණය පැවැත්වීමට නියමිත අතර, බටහිර රටවල් රුසියාව ක්‍රිමියාව වෙත කරන අතපෙවීම් දරුණු ලෙස විවේචනය කරමින් සිටියි.

මේ අතර, ඊයේ දිනය වනවිට වාර්තා වූයේ, ක්‍රිමියාමේ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවට හා රුසියාවට පොදු දැක්මක් නොමැති බව රුසියානු විදේශ අමාත්‍යවරයාගේ ප්‍රකාශයකි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මෙසේ පවසා සිටියේ ලන්ඩනයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මෙසේ කියා තිබුණි.

ක්‍රිමියාව රුසියාවට එකතු කිරීමේ කැමැත්ත අකැමැත්ත විමසමින් ඉරිදා පැවැත්වෙන  ජනමත විචාරණයේ ප්‍රතිඵලයට රුසියාව ගරු කරන බව ලැව්රෝව් පවසා සිටියත්, කෙරී පවසා සිටියේ එම ප්‍රතිඵලය කවරක් වුවත් එය ඇමෙරිකාව පිළි නොගන්නා බවය.

රුසියනු විදේශ අමාත්‍යවරයා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර පැවති සාකච්ඡාව පැය හයකට වඩා අධික කාලයක් ගත වූ දීර්ඝ සාකච්ඡාවක් බව වාර්තා විණි.

 



Recommended Articles