කවුද ගොනා ?


ප්‍රසිද්ධ වෙන්න කියල මිනිස්සු ගොන්කම් කරන එක අද ඊයෙක ඉඳල වෙනදෙයක් නෙවෙයි. කල්ප කාලාන්තරයක් තිස්සෙ මිනිස් ප්‍රජාව අතරෙ මේ වගේ පිරිසක් හිටියා. මේ අය වැඩිපුරම තමන්ව ජනප්‍රිය කරගන්න මේ වගේ ගොන්කම් කරනවා. මේ ඡායාරූප පෙළත් ඒ වගේ කෙනෙක් ගැන කියවෙන කතාවක්. මේක වාර්තා වෙන්නෙ ඇමෙරිකාවෙ, ටෙක්සාස් ප්‍රාන්තයේ, හූස්ටන් ගොන් රේස් එකේදි. ගොන් රේස් කිව්වෙ කුලප්පු වෙච්ච ගොන්නු ටිකක් ඉදිරියෙන් පණ එපා කියල මිනිස්සු ටිකක් ඊටත් වේගෙන් දුවන තරගෙකට. එතකොට කවුද ගොන්නු කියල ඔයාල අහයිද දන්නෙ නැහැ. නමුත් එහෙම තරගත් ලෝකයේ තියෙනවා. මේක ඇමෙරිකාවට ඇවිල්ල තියෙන්නෙ ස්පාඤ්ඤයෙන්. ගොන් රේස්වලට වඩාත්ම ප්‍රසිද්ධ ස්පාඤ්ඤයයි.

ඒත් මේ වගේ භයානක අවස්ථාවකදී, ඊටත් වඩා භයානක දෙයක් කරන්න මේ ගොන් රේස් එකේ දුවපු ක්‍රිස්ටියාන් කියන කෙනා කටයුතු කරල තිබුණා. තමන්ගෙ පස්සෙන් කුලප්පු වෙච්ච ගොනෙක් දුවගෙන එනකොට මෙයාට ඕන වුනේ ඒ අත්දැකීමට තමන් මුහුණ දෙන විදිය එයාගෙම මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ කරල, ෆේස්බුක් අප්ලෝඩ් කරන්නලු. දන්නවනෙ, අද FB නැහැයි කියන්නෙ සමහරුන්ට උප්පැන්නෙ නැහැ වගේ. ඒක වෙනමම කතාවක්.

හරි... දැන් ඔන්න ක්‍රිස්ටියාන් තමන්ගෙ කැමරාවත් ඉස්සරහට අල්ලගෙන දුවනවා. ඒත් මේක බලාගෙන හිටිය අයට නම් මෙයාගෙ වැඩේ එතරම් විනෝදයක් ගෙනදුන්නෙ නැහැ. මොකද, වීඩියෝවක් ගත්ත වගේ නෙමෙයි, පොඩ්ඩ ගැසිසුණොත් ගොනකුට කියල ඇණ ගන්න තමයි වෙන්නෙ. කොහොම හරි පූරුවෙ වාසනාවකටද කොහෙද මෙයා යන්තම් පණ බේරගෙන දුවල තිබුණා. පස්සෙ එයාගෙ වීඩියෝ එකත් අප්ලෝඩ් කරල මෙයා හරි උජාරුවට කතා කළා කියලත් කියනවා. ඒත් මේ ගොන් රේස් එකේදිම ගොනුන්ගේ පහරකෑමෙන් හා ගොනුන්ට පෑගීමෙන් තුවාල ලබපු පිරිස සුළුපටු නැහැ කියලයි සංවිධායකයො කියන්නෙ. දැන් ඉතිං කවුද ගොන්නු කියල ඔයාලම තීරණය කරල බලන්නකො...



Recommended Articles