කර්නාටක ප්‍රාන්තයේ සතියක් තුළ මහ ඇමතිවරු දෙදෙනෙක් පත්වේ


ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් පසුව සතියක් තුළ දෙවැනි මහ ඇමතිවරයාද දිවුරුම් දී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එච්.ඩී. කුමාරස්වාමි කොංග්‍රස් පක්ෂය සහ ජනතා දාල් පක්ෂය සමග එක්ව සභාග රජයක් පිහිටුවීමත් සමග ඔහු මහ ඇමති ධුරයට පත්ව තිබේ.

ඒ අනුව, මෙවර මැතිවරණයෙන් ආසන්න ජයග්‍රහණයක් ලබාගත් භාරතීය ජනතා පක්ෂයේ මහ ඇමතිවරයා ලෙස පත්වූ බී.එස්. යාද්යුරප්පා දින තුනක පමණ ධුර කාලයකින් පසුව සිය ධුරයට සමුදෙනු ඇත.

සභාග රජය ඇතිවීමත් සමග බහුතර බලය පෙන්වීමට නොහැකි වීමෙන් ඔහුට මේ ආකාරයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුව තිබේ.

මෙවර මැතිවරණයෙන් කර්නාට ප්‍රාන්තයේ සමස්ත ආසන 222න් ආසන 104ක් දිනාගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වූ අතර, ඔවුන්ට බහුතර බලය සඳහා ආසන 4ක අඩුවක් පැවතුණි.

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කොංග්‍රසය සභාග රජයක් පිහිටුවමින් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමිවූ මහ ඇමති ධුරය යළි ඔවුන් වෙත ලබාගැනීමට කටයුත කර ඇත.

කෙසේ වෙතත්, බහුතර බලයක් නොමැතිව රජයක් පිහිටුවීම සඳහා භාරතීය ජනතා පක්ෂයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාර විජේබාහු වාලා වෙතද චෝදනා එල්ල විය.

1_karnataka



Recommended Articles