සෞදි අරාබියට අයත් සෞදියා ගුවන් සේවයට අයත් යානයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපොළේ පවතින බවට වූ පුවතක් සෞදිය විසින් බැහැර කර තිබේ.
මෙය සමාජජාල තුළ හුවමාරු වූ ව්‍යාජ පුවතක් බව පවසන සෞදියා ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙන්නේ, ජාතික සංකේතයක් වන සිය ගුවන් සේවයේ නමට මෙයින් විශාල කැළලක් සිදුකර ඇති බවයි.
එම සැබෑ ඡායාරූපයට අනුව ඊශ්‍රායල් ගුවන් තොටුපොළේ නවතා තිබුණේ එරට එල් අල් ජාතික ගුවන් සේවයට අයත් යානයක් වන අතර, සෞදිය හා ඊශ්‍රායලය අතර රාජතාන්ත්‍රික සබඳතා නොපවතී.
සෞදි අරාබිය ඇතුළු අරාබි කලාපයේ රාජ්‍යයන් කිහිපයක් විසින් අසල්වැසි කටාර් රාජ්‍යය සමග පවතින සියලු සබඳතා අත්හැර ඔවුන්ට සම්බාධක පැනවීමත් සමග කටාරයට සහාය පළ කරන්නන් මෙවැනි පුවතක් පළ කරන්නට ඇති බවත් විශ්වාස කෙරෙයි.
විශේෂයෙන්ම කටාරය ඉස්ලාම් ජිහාඩ් අන්තවාදීන්ට මුදල් සපයන බවත්, ඉරානය සමග සබඳතා පැවැත්වීමත් මූලික කර ගනිමින් මෙවැනි සම්බාධක පැනවීමක් හා සියලු සබඳතා අත්හැරීමක් සිදුවූ බවද සෞදි අරාබිය ප්‍රමුඛ එම රාජ්‍යයන් එවකට නිවේදනය කර තිබුණි.
ඒ අනුව, මෙවැනි ව්‍යාජ පුවත් පළ කරන්නන් අතර එවැනි ජිහාඩ් අන්තවාදීන් හා ඔවුන්ගේ අන්තවාදී ජිහාඩ් ජාල ක්‍රියාත්මක විය හැකි බවද විශ්වාස කෙරෙයි.
බොහෝ විට ප්‍රධාන දහරාවේ මාධ්‍ය යැයි කියාගන්නා ආයතන තුළද මෙවැනි මූලධර්මවාදී හස්තයන් ක්‍රියාත්මක වන බව මේ වනවිට වඩාත් පැහැදිලිව හඳුනාගෙන ඇති අතර, ඔවුන් වඩාත් සූක්ෂමව තම මතය සමාජය තුළ ගලායෑමට සැලැස්වීමට කටයුතු කරමින් සිටින බව වඩාත් ප්‍රකටය.
එම නිසා සමාජජාල තුළ මෙන්ම ඇතැම් ප්‍රධාන දහරාවේ මාධ්‍ය තුළ පවා හුවමාරු වන පුවත් පිළිබඳ මනා අවධානයකින් හා විශ්ලේෂණයකින් යුතුව කටයුතු කිරීම බුද්ධිමත් ජනතාවකගේද වගකීමක් වනු ඇත.