අඩු පීඩන තත්ත්වයක් ලෙස වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවටද බලපෑම් කර බටහිර ඉන්දීය වෙරළ කලාපයට ඇදීගිය ඔක්හි සුළි කුණාටුව හේතුවෙන් ඉන්දීය ධීවරයන් 120 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට කෙරළයේ පමණක් ධීවරයන්ගේ සිරුරු 16ක් මේ වනවිට සොයාගෙන ඇති අතර, එම ප්‍රාන්තයේ ප්‍රධාන ධීවර වරායන් දෙකක් ආශ්‍රිතව ධීවරයන් 80 දෙනෙකු අතුරුදන්ව සිටින බවත්, කුණාටුව හේතුවෙන් තවත් ප්‍රදේශවල ධීවරයන් 40 දෙනෙකු අතුරුදන්ව සිටින බවත් සඳහන් වෙයි.
මේ අතර, කේරළ බලධාරීන්ගේ හා කාලගුණ අනතුරු ඇඟවීම් නොතකා තම අතුරුදන් වූ ධීවරයන් සෙවීම සඳහා කේරළ ධීවර බෝට්ටු 40ක් පමණ දියඹට ගොස් ඇති අතර, එහිදී ඔවුන්ට එක් ධීවරයෙකුගේ සිරුරක් සොයාගැනීමට හැකිවී තිබේ.
මේ අතර, ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවන්ද ධීවරයන් සෙවීමේ මෙහෙයුම්වලට සම්බන්ධව සිටියත්, ධීවර වරාවන් වෙත රැස්වූ ධීවරයන් ප්‍රාන්ත රජයන් වෙත තම දැඩි විරෝධය දක්වමින් සිටින බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, ධීවරයන්ගෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන කේරළ ප්‍රාන්ත රජය පවසන්නේ මෙවැනි ස්වභාවික ආපදාවක් හමුවේ ඔවුන්ගේ වේදනාව හඳුනාගැනීමට තමන්ට හැකි බවයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු පියවර ගෙන ඇති බවද ඔවුන් පවසයි.
මේ අතර, අන්දමන් දූපත් ආශ්‍රිතව ඇතිවෙමින් පවතින තවත් අඩුපීඩන කලාපයක් ඉදිරි දින දෙක තුනක කාලයේදී ඉන්දියාවේ නැගෙනහිර වෙරළ කලාපයට බලපෑම් කරනු ඇති බවට විදෙස් කාලගුණ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම කාලගුණික තත්ත්වයද සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද සඳහන් වන අතර, එයින් ඉන්දියාවට බලපෑමක් එල්ල වුවත්, සෘජුවම ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල වන බව විදෙස් වාර්තාවල සඳහන් නොවෙයි.