ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ වඩාත් ප්‍රකට මං සලකුණක් වූ 'හිලරි ස්ටෙප්' කොටස කඩා වැටී ඇති බවට බ්‍රිතාන්‍ය කඳු නගින්නෙකු සිදුකළ අනාවරණයෙන් දිනකට පසු, නේපාල කඳු නගින්නන් දෙදෙනෙකු එය ප්‍රතික්ෂේප කර තිබේ.
එවරස්ට් කඳුකරයේ ගිණිකොනදිග කොටසේ ගලින් මතුවී පිටතට නේරා පැමිණි මීටර් 12ක් පමණ වූ කොටස 'හිලරි ස්ටෙප්' ලෙස සැලකෙන අතර, එවරස්ට් තරණයේදී කඳු නගින්නන් අවසානයට මුහුණදෙන වඩාත් අසීරු නැග්ම ලෙසද මෙම පර්වත කොටස සැලකෙයි.
අවස්ථා 06කට වඩා එවරස්ට් කඳු මුදුන වෙත ගොස් ඇති බ්‍රිතාන්‍ය ජාතික ටිම් මෝස්ඩේල් පසුගිය 16 වැනිදා මෙම පුවත තහවුරු කළ අතර, එය බොහෝ විට 2015 දී නේපාලයට බලපෑ භූ කම්පනයේ ප්‍රතිඵලයක් විය හැකි බවද කියා සිටියේය.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව අදහස් දක්වා සිටි කඳුනගින්නන්ගේ සහායකයෙකු වූ නේපාල ජාතික පසැන්ග් ෂෙර්පා පසුගිය සඳුදා දිනයේදී අනාවරණය කර සිටියේ එවැනි කඩා වැටීමක් සිදුව නොමැති බවයි.
මෙම අනාවරණයත් සමග නේපාලයේ කඳු නගින්නන්ගේ සංගමයේ සභාපති අන්ග් ෂෙරීන්ග් ෂෙර්පා ද අවධාරණය කර තිබුණේ භූ කම්පනයේ හේතුවක් මත 'හිලරි ස්ටෙප්' කොටස කඩා වැටී නොමැති බවයි. අධික හිම පතනයක් හේතුවෙන් එම පර්වත කොටස වැසී ඇති බවත්, ඒ නිසා එහි ඉතා කුඩා කොටසක් පමණක් පිටතට පෙනීම මේ ආකාරයේ වැරදි තොරතුරක් පැතිරීමට හේතුව බවද ඔහු බී.බී.සී. නේපාල සේවය වෙත පවසා තිබේ.
1953 වසරේදී සර් එඩ්මන් හිලරි විසින් ප්‍රථම වරට එවරස්ට් තරණය කිරීමෙන් පසුව ඔහුට උපහාරයක් ලෙස මෙය 'හිලරි ස්ටෙප්' ලෙස නම් කර තිබුණි.