එවරස්ට් ග්ලැසියර ජලාශය හිස් කිරීම සාර්ථක වෙලා


එවරසට් කඳු පාමුල ගම්මානවලට ගංවතුර තර්ජනයක් පිළිබඳ බියක් ඇති කළ ග්ලැසියර ජලාශයක වූ ජලය ඉවත්කිරීමේ කටයුතු අවසන් කළ බව නේපාල හමුදාව පවසයි.

ඉම්ජා ග්ලැසියර ජලාශය මුහුදු මට්ටමින් අඩි 16,400ක් ඉහළ එවරසට් කන්ද ආසන්නව ඇති අතර, මාස කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමකින් එහි ජල මට්ටම මීටර් 3කට පමණ ගෙන ඒමට හැකි වූ බව කියැවෙයි.

හිමාල කඳුකරයේ ඇති දහස් ගණනක් වූ ග්ලැසියර ජලාශවලින් එකක් ලෙස ඉම්ජා ග්ලැසියර ජලාශය සැලකෙයි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් ග්ලැසියර දියවීමත් සමග මෙම ග්ලැසියර ජලාශවල ජල මට්ටම් වේගයෙන් ඉහළ යන බව පරිසරවේදීහු පෙන්වා දෙති.

එමෙන්ම, පසුගිය වසරේ නේපාලයට බලපෑ භූ කම්පනයද මෙම ඉම්ජා ග්ලැසියර ජලාශයේ ජලය මහා ගංවතුරක් ලෙස පහළට ගලා එනු ඇතැයි යන බිය ඇති කර තිබුණි.

නේපාල හමුදාව පවසන්නේ මුහුදු මට්ටමින් ඉහළ ස්ථානයක සිදුකළ මෙවැනි ආකාරයේ ලොව ප්‍රථම ජලාපවහන ව්‍යාපෘතිය මෙය බවයි. එහිදී, නේපාල හමුදාව සහ නේපාලය ආශ්‍රිව ජීවත්වන ෂර්පාවරු එකතුව එම ජලාශයේ ජලය ක්‍රමයෙන් ඉවත්කිරීම සඳහා මාස හයක කාලයක් අගල් කැපීමක් සිදුකර තිබුණි.



Recommended Articles