ලොව උසම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්දේ වඩාත් ප්‍රකට ස්ථානයක් වූ 'හිලරි ස්ටෙප්' නමැති කොටස කඩා වැටී ඇති බව අනාවරණය වෙයි.
මෙය එවරස්ට් තරණය කරන කඳු නගින්නන්ට එම කඳු ශිකරය තරණය තවත් අනතුරුදායක වී ඇති බවට සාක්ෂියක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
2015 වසරේදී නේපාලයේ ඇති වූ භූ කම්පනය මෙම 'හිලරි ස්ටෙප්' කොටස කඩා වැටීමට හේතු වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
එවරස්ට් කඳුකරයේ ගිණිකොනදිග කොටසේ ගලින් මතුවී පිටතට නේරා පැමිණි මීටර් 12ක් පමණ වූ කොටස 'හිලරි ස්ටෙප්' ලෙස සැලකෙන අතර, එවරස්ට් තරණයේදී කඳු නගින්නන් අවසානයට මුහුණදෙන වඩාත් අසීරු නැග්ම ලෙසද මෙම කොටස සැලකිණි.
1953 වසරේදී සර් එඩ්මන් හිලරි විසින් ප්‍රථම වරට එවරස්ට් තරණය කිරීමෙන් පසුව ඔහුට උපහාරයක් ලෙස මෙය 'හිලරි ස්ටෙප්' ලෙස නම් කර තිබුණි.
පසුගිය මැයි 16 වැනිදා එවරස්ට් කඳු මුහුණ වෙත ගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්නෙකු වූ ටිම් මෝස්ඩේල් මෙම පුවත තහවුරු කර තිබුණි.
ඔහු පවසා තිබුණේ මෙම සුවිශේෂී කොටස එවරස්ට් කඳුකරයෙන් ඉවත්වීම යුගයක අවසානයක් ලෙස තමා දකින බවයි.
එය එවරස්ට් කඳුකරයේ ඉතිහාසය සමග බැඳී පැවති කොටසක් වූ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.