ඉන්දියාවේ නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේ දුම්රිය මැදිරි 22ක් එන්ජිමෙන් ගැලවී කිලෝමීටර් 11ක දුරක් ආපස්සට ගමන් කිරීමේ සිදුවීමක් සමග දුම්රිය සේවකයන් හත් දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
දුම්රිය මගීන් 1,000ක් රැගත් මැදිරි 22ක් මේ ආකාරයෙන් දුම්රියෙන් ගැලවී ඇති අතර, අවසානයේදී දුම්රිය මාර්ගයට ගල් වැටි යොදා දුම්රිය නවතා ගැනීමට සිදුවූ බව බලධාරීහු පවසති.
සෙනසුරාදා රාත්‍රී කාලයේදී මෙම සිදුවීමෙන් දුම්රියේ ගමන්ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිදුවීම දුම්රිය වේදිකාවේ සිටි අයෙකුගේ ජංගම දුරකථන කැමරාවේ සටහන් වී ඇති අතර, දුම්රිය මැදිරි එන්ජිමෙන් ගැලවී ආපස්සට ගමන් කරන විට බොහෝ දෙන් කෑමොර දෙන්නට වී තිබේ.
මෙවැනි අවස්ථාවකදී දුම්රියට යොදන තිරිංග නිවැරදි ආකාරයෙන් නොයෙදීමෙන් හෝ තිරිංග යෙදීමට ක්‍රියා නොකිරීමෙන් මෙවැන්නක් සිදුව ඇති බවට බලධාරීහු චෝදනා කරති.
කෙසේ වෙතත්, සේවය අත්හිටවූ සේවකයන්ගෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කෙරෙන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බවද ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්දියාවේ දිනපතා දුම්රිය 9,000ක් විසින් මිලියන 22කට ආසන්න මගීන් පිරිසක් ප්‍රවාහනය කරයි.