එක්සත් ජාතීන්ගේ ට්‍රම්ප් දේශනය සුනඛ බිරීමක් - උතුරු කොරියාව


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ කතාව සුනඛයෙකුගේ බිරීමකට සමාන බව උතුරු කොරියාව පවසයි.

පසුගිය 19 වැනිදා ට්‍රම්ප් සිදුකළ කතාවේදී උතුරු කොරියාව දැඩිව විවේචනය කළ අතර, ප්යොන්ග්යැන්ග් පාලනය ඇමෙරිකාවේ හෝ ඇමෙරිකානු මිතුරන්ගේ ආරක්ෂාවට බලපෑමක් කරන්නේ නම් උතුරු කොරියාව විනාශ කර දැමීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ කතාවෙන් දෙදිනකට පසුව ඊට ප්‍රතිචාර දැක්වූ උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ පවසා සිටියේ ඇමෙරිකානු නායකයාගේ දේශනය සුනඛයෙකුගේ බිරීමකට සමාන බවයි.

නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් අමතමින් උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, "සුනඛයෝ බිරුවත් තවලම යනවා යැයි කියමනක් තියෙනවා" යනුවෙනි.

"ඒ වගේම, සුනඛයෙක් බුරන සද්දෙන් අපිව බය කරන්න පුළුවන් කියා හිතනවා නම් පැහැදිලිවම එයා දකින්නේ හීනයක්." යැයිද පවසා සිටියේය.

කෙසේ වෙතත්, ඇමෙරිකානු නායකයා සිය කතාවේදී උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් 'රොකට් මෑන්' යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, "රොකට් මෑන් සියදිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙනවා" යැයි පවසා සිටියේය.

ඒ අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 'රොකට් මෑන්' අදහස ගැන විමසූ විට උතුරු කෙරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ කියා සිටියේ, "ඔහුගේ ආධාරකරුවන් ගැන මට කනගාටුවක් දැනෙනවා," යනුවෙනි.

උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා අද (22දා) මහා මණ්ඩලය අමතා අදහස් දැක්වීමට නියමිතය. 

1_N Korea 01



Recommended Articles