(UPDATE) උතුරු කොරියාව එදාමෙදා තුර වඩාත් ඉහළින්ම ගමන් කරන ලෙස දියත් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජෝන් මැටිස් අනාවරණය කරයි.
බදාදා උදෑසන දියත් කර තිබූ මෙම මිසයිලය ජපාන සාගරයට පතිත වී තිබුණි.
එය කිලෝමීටර් 4,500ක් ඉහළින් ගමන් කරමින් කිලෝමීටර් 960ක් දුර පියාසර කර සාගරයට පතිත වී ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
ප්යෙන්ග්යැන්ග් පාලන අධිකාරිය විසින් පසුගිය කාලය පුරාවට දියත් කරනලද මිසයිල හා න්‍යෂ්ටික වැඩපිළිවෙළෙහි නවතම මිසයිල අත්හදා බැලීම මෙයයි.
උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියානු යොන්හැප් පුවත් ඒජන්සිය පෙන්වා දුන්නේ මෙම මිසයිලය නැගෙනහිර දෙසට පියාසර කර ඇති බවට නිරීක්ෂණ සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, එය කෙතරම් දුරට ඇදී ගියේද යන්න හෝ වසර මුලදී සිදුවූ පරිදි එය ජපානයට ඉහළින් පියාසර කළේද යන්න පැහැදිලි නොමැත බවද එම වාර්තාවේ දැක්වෙයි.
උතුරු කෙරියාවේ ප්යොන්යැන්ග් පළාතේ, ප්යොන්ග්සොන් හි සිට මෙම මිසයිලය උඩු ගුවනට විද ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඇමෙරිකාව මෙන්ම ලොව ප්‍රබල රටවල් කිහිපයක් සමග උණුසුමක් පවතින අවස්ථාවේදී ඔවුන් කිසිවෙකුගේ කීමක් මායිම් නොකර තම මිසයිල වැඩසටහන ඉදිරියට ගෙන යන බවට මෙය තවත් සාක්ෂියක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
උතුරු කොරියාව පසුගිය සැප්තැම්බර් මාසයේදී ද බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බැලූ අතර, ඒවා ජපානයට ඉහළින් පියසර කරවීමටද සැලැස්වීය.
කෙසේ වෙතත්, උතුරු කොරියාවේ මෙම නවතම බැලස්ටික් මිසයිලයේ ගමන්මග පිළිබඳ ඇමෙරිකානු බලධාරීන් විමර්ෂණය කරමින් සිටින බව දකුණු කොරියානු හමුදා පවසා තිබේ.