උ. කොරියාවෙන් සක්‍රීය න්‍යෂ්ටික සබ්මැරීනයක්


උතුරු කොරියාව සිය ප්‍රථම සක්‍රීය න්‍යෂ්ටික සබ්මැරීනය දියත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අනාවරණය වෙයි.

තොරතුරු ගවේෂණ වෙබ් අඩවියක් විසින් මෙම අනාවරණය සිදුකර ඇත්තේ විශේෂ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

මේ වනවිටත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල ගොඩබිම සිට දියත් කිරීමේ බලය තමන් සතු කරගෙන සිටින උතුරු කොරියාව, මුහුදේ සබ්මැරීනයක සිට දිගුදුර මිසයිල දියත් කිරීමේ වැඩසටහනක් කෙරෙහි දැඩි අවධානයක් යොමුකර තිබුණි.

කෙසේ වෙතත්, උතුරු කෙරියාවේ නැගෙනහිර වරාය නගරයක් වූ සින්පෝ හි පිහිටි නෞකා ඉදිකිරීම් පරිශ්‍රය තවදුරටත් පුළුල් කර ඇති බවද චන්ද්‍රිකා ඡායාරූප හරහා පැහැදිලි කරන ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තවත් මිසයිල රැගෙන යා හැකි සබ්මැරීනයක් උතුරු කොරියාව විසින් නිපදවමින් සිටින බව විශ්වාස කළ හැකි බවයි.

සිය මිසයිල හා න්‍යෂ්ටික වැඩපිළිවෙළ හරහා ජාත්‍යන්තරයේ උදහසට ලක්ව ඇති උතුරු කොරියාව පසුගිය කාලය පුරාවට ඇමෙරිකාව සමග වඩාත් උණුසුම් වාග් සංග්‍රාමයකද පැටලී සිටියේය.

කෙසේ වෙතත්, මේ වනවිට කලාපයේ උණුසුම සමනය වෙමින් පවතින බව විශ්වාස කළත්, එය අලුයට ගිනිපුපුරු මෙන් කවර මොහොතක දළුලා වැඩෙයිද යන්න පැහැදිලි නොමැති යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

1_N Korea



Recommended Articles