උතුරු කොරියාවට යෑමට තමා සූදානම් - මූන් ජේ-ඉන්


දකුණු කොරියානු ජනපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් එරට නව ජනපති ලෙස දිවුරුම් දුන් නිදහස් මතධාරී මූන් ජේ-ඉන් පවසා සිටියේ උතුරු කොරියාව සමග පවතින අර්බුදය විසඳාගැනීමට තමන් කැපවන බවයි.

විශේෂයෙන්ම රටේ ආර්ථිකයට මෙන්ම, අසල්වාසී රාජ්‍ය සමග පවතින ගැටලුවට විසඳුම් සෙවීම තම ප්‍රමුඛ කාර්යයක් බව සිය පළමු වැනි දේශනයෙන්ම නව ජනාධිපතිවරයා පවසා සිටියේය.

ඒ අනුව, සුදුසු මොහොත පැමිණි විට තමන් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට පවා පසුබට නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

පසුගිය 09 වැනිදා පැවති දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයගත් මූන් ජේ-ඉන් සිය ජයග්‍රහණයෙන් දිනකට පසුව සෝල් අගනුවර රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී දිවුරුම්දෙනු ලැබීය.

එමෙන්ම, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ හා බැලස්ටික් මිසයිල වැඩසටහන මුල් කරගනිමින් කලාපයේ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දකුණු කොරියාව වත්මන් විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් අසල්වාසී උතුරු කොරියාව සමග සංවාදයක් ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

හිටපු මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකු සහ උතුරු කොරියානු සම්භවයක් ඇති දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා උතුරු කොරියානු අර්බුධය විසඳීම සඳහා වඩාත් යෝග්‍ය පුද්ගලයෙකු ලෙස දැනටමත් ඉඟි පළ කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles