උණුසුම් දේශගුණය නිසා ලොවපුරා මැලේරියා ව්‍යාප්තියක්


දේශගුණික විපර්යාස සමග ඇතිවී තිබෙන උණුසුම් දේශගුණය නිසා මැලේරියාව විශාල වශයෙන් ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු පර්යේෂකයෝ පවසති.

අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල සිදුකළ පර්යේෂණයකින් මේ තොරතුරු හෙළිදරව් වී ඇති අතර, විශේෂයෙන්ම දේශගුණික උෂ්ණත්වය ඉහළ ගිය වසරවලදී එම පෙදෙස්හි මැලේරියාව වැඩි වශයෙන් වාර්තා වී ඇති බවද අනාවරණය වී තිබේ.

මේ තත්ත්වය තුළ දේශගුණික විපර්යාස සමග අනාගතයේදී පරිසර උෂ්ණත්වය ඉහළ යනවිට මැලේරියා රෝගීන් වාර්තා වීම මිලියන ගණනකින් ඉහළ යාහැකි බවද එම පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

මේ පර්යේෂණය සඳහා අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල ජනාකීර්ණ ස්ථාන 300ක් පමණ යොදාගෙන ඇති අතර, රෝගය සම්පුර්ණයෙන්ම තුරන් වී ඇති බවට සහතික කර තිබූ පෙදෙස්වලින් පවා දේශගුණය උණුසුම් වූ වසරවලදී මැලේරියා රෝගීන් වාර්තා වී තිබූ බව කියැවෙයි.

ඉතියෝපියාවේ දේශගුණය වසරකට සෙල්සියස් අංශක 1 කින් ඉහළ ගියහොත්, එරට මැලේරියා රෝගීන්ගේ ගණන වසරකට ලක්ෂ තිහකින් (30,00,000) ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කිරීමෙන්ම මෙහි ඇති අවදානම හඳුනාගත හැකි බව පර්යේෂකයේ අවධාරණය කරති.

 



Recommended Articles