ඉරානය ත්‍රස්තවාදයට සහ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය ලබාදෙන බවත්, එය වහාම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේදී පවසා සිටියේය.
ජෙරුසෙලමේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමට ඉරානයට කිසිදා අනුමැතිය නොදිය යුතු බවයි.
ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් ඊශ්‍රායලය බලා පැමිණියේ ඇමරිකාවට වැදගත් මිත්‍ර රටක් වන සෞදි අරාබියේ සංචාරය නිමා කරමිනි. සෞදියේදී මුස්ලිම් රාජ්‍යයන් 55ක රාජ්‍ය නායකයන් ඇමතූ ට්‍රම්ප් ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව වැදගත් එකඟතාවකට පැමිණියේය.
මෙසේ ජෙරුසෙලමට පැමිණ සිටින ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල නායකයන් මෙන්ම, පලස්තීන නායකයන්ද හමුවෙමින් දෙපාර්ශ්වය අතර සාම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා කටයුතු කිරීමට සූදානමින් සිටියි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ප්‍රථම නිල විදෙස් සංචාරය ලෙස ඊශ්‍රායලය, පලස්තීන කලාපය, බ්‍රසල්ස් නුවර මෙන්ම වතිකානුව හා ඉතාලියේ සිසිලි දූපත් වෙතද සංචාරය කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, ඉරානයේ ජනාධිපතිවරයා ලෙස දෙවැනි වරටත් බලයට පත් හස්සන් රොයුහානි අවධාරණය කරන්නේ ඉරානයේ සහාය නොමැතිව මැදපෙරදිග කලාපයේ සාමයක් ඇති කළ නොහැකි බවයි.