ඉස්ලාම් අන්තවාදීන් මිහිතලයෙන් අතුගා දමන ලෙසත්, එකී අන්තවාදීන්ට එරෙහිව ගෙනයන සටනට නායකත්වය දෙන ලෙසත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුස්ලිම් රාජ්‍යයන්ගෙන් බලවත් ඉල්ලීමක් සිදුකර තිබේ.
ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් සංචාරයට එක්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ ප්‍රථම නැවතුම ලෙස සෞදි අරාබියට පැමිණි අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකළේ රියද් නුවර පැවති කලාපීය මුස්ලිම් රාජ්‍ය නායක සමුළුවක් අමතමිනි. මෙම හමුවට මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 55ක නායකයන් සහභාගී වී සිටියහ.
මෙය නව පරිච්ඡේදයක ආරම්භය බව පවසා සිටි ට්‍රම්ප්, තමන් මෙහි පැමිණියේ ඇමෙරිකානු ජීවන ශෛලියට හැඩ ගැසෙන ලෙස මෙම රටවලට බලකිරීමට හෝ දේශනා පැවැත්වීමට නොවන බවද අවධාරණය කළේය.
එමෙන්ම, ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටන විවිධ ආගම් හෝ ජන කොටසක් අතර සිදුකරන සටනක් නොවන බව පවසා සිටි ට්‍රම්ප්, මෙය හොඳ හා නරක අතර සටනක් පමණක් බවද කියා සිටියේය.
වඩාත් සෞභාග්‍යමත් අනාගතයක් දැකිය හැකි වන්නේ මේ සියලු රාජ්‍යයන් විසින් ත්‍රස්තවාදීන් හා ඉස්ලාම් අන්තවාදීන් තම රටවලින් පළවා හරින්නේ නම් පමණක් බවද ට්‍රම්ප් අවධාරණය කළේය.
එහිදී, ඇමෙරිකානු ශක්තිය පෙරට එනතුරු බලා නොසිට, මේ බාධකය ජයගැනීම සඳහා සියලු දෙනා තනි තනිව තමන්ගේ කොටස ඉටුකළ යුතු බවද ට්‍රම්ප් පවසා සිටියේය.
මෙම කතාවේදී ට්‍රම්ප් ඉරානයද දෝෂ දර්ශනයට ලක්කරමින් කතා කළ අතර, කලාපයේ අස්ථාවරත්වයට ඉරානයේ ක්‍රියා පිළිවෙතද හේතුවක් බව කියා සිටියේය.
දින 08ක සිය ප්‍රථම විදෙස් සංචාරයේදී ලොව වටා යන ට්‍රම්ප්, මෙම සංචාරය අතරතුර ක්‍රිස්තියානි, මුස්ලිම් හා යුදෙව් යන ආගම්වල ප්‍රධාන ආගමික නගර වෙත පැමිණීමද විශේෂත්වයක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.