ඉස්ලාම් අන්තවාදය ගැන ට්‍රම්ප් සෞදියේදී කතා කරයි


සිය පළමු වැනි රාජතාන්ත්‍රික විදෙස් සංචාරය ආරම්භ කරමින් ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය වෙත ළඟා වී තිබුණි.

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇමෙරිකානු නායකයා සහ ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පිළිගැනීම සෞදියේ සල්මන් රජතුමා විසින් සිදුකර තිබේ.

කෙසේ වෙතත්, රජ මාලිගය බලා පිටත්ව යෑමට පෙර මෙම රාජ්‍ය නායක දෙපළ රියද් ගුවන් තොටුපොළේ සිටම කෙටි සාකච්ඡාවක නිරත වී ඇති බව විදෙස් වාර්තා ගෙනහැර දක්වයි.

‍මේ අතර, ට්‍රම්ප්ගේ පැමිණීම වෙනුවෙන් පැවති සාම්ප්‍රදායික අසිපත් නර්තනයකටද මෙහිදී ඇමෙරිකානු ජනපතිවරයා එක්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.

අද (21දා) රියාද් අගනුවර පැවැත්වෙන සමුළුවකට සහභාගී වන ට්‍රම්ප් මුස්ලිම් රාජ්‍ය නායකයන් 40කට වැඩි පිරිසක් අමතා කතා කිරීමටද සූදානමින් සිටින අතර, මෙම සමුළුවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ඉස්ලාම් අන්තවාදී සංවිධානවලට එරෙහි සටනයි.

එමෙන්ම, ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සංචාරයේදී ඇ.ඩො.කෝටි දහස් ගණනක් ආවරණය කෙරෙන වාණිජ ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට සූදානමින් සිටින බව ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දින 08ක සංචාරයේදී ජනාධිපතිවරයා ඊශ්‍රායලය, පලස්තීනය, බෙල්ජියම, වතිකානුව හා ඉතාලියේ සිසිලි දූපත් වෙත ගමන් කරනු ඇති බවද ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම සංචාරයේදී ට්‍රම්ප් ක්‍රිස්තියානි, යුදෙව් හා ඉස්ලාම් යන ආගම් තුනම නියෝජනය කරන ප්‍රමුඛ මූලස්ථාන සහිත නගර වෙත පැමිණීමද විශේෂත්වයකි.



Recommended Articles