තමාගේ ප්‍රථම විදෙස් සංචාරය ලෙස ඉස්තාම්බුල් වෙත යෑමට අවසර ලබාදෙන මෙන් මවුපියන්ගෙන් ඇයද සිටි ලියෑන් නසර්, IS ත්‍රස්තවාදයේ කුරිරු බව හමුවේ ඊශ්‍රායලයට යළි පැමිණෙන්නේ සිය මවුබිම කරා එන අවසන් සංචාරය ලෙසිනි.
සිය මිතුරියන් තිදෙනෙකු සමග තුර්කියේ, ඉස්තාම්බුල් නගරයේදී 2017 නව වසර සැමරීමට ගිය 18 හැවිරිදි සුන්දර තරුණියද පසුගියදා රෙයිනා රාත්‍රී සමාජ ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හමුවේ සදහටම දෙනෙත් පියා ගත්තාය.
ලියෑන් නසර්ගේ ඉස්තාම්බුල් සංචාරයට මුල සිටම පියාගෙන් එල්ල වූයේ බලවත් විරෝධයකි. ඉස්තාම්බුල් අනාරක්ෂිත තැනක් බව අවධාරණය කළ ඔහු කිසිසේත්ම එහි නොයායුතු බව ඇයට කියා සිටියේය.
මධ්‍යම ඊශ්‍රායලයේ, අරාබි නගරයක් වන ටයිරා හි පදිංචි ලියෑන් වෙනුවෙන් අවසානයේ පෙනී සිටියේ ඇගේ නැන්දණියයි. තම උසස් අධ්‍යාපනය නිමාකොට දන්ත ආරෝග්‍ය ශාලාවක සේවය කළ ඇයගේ ප්‍රථම විදෙස් සංචාරය සපථ කරනු වස් නැන්දණිය විසින් ලියෑන්ට විදෙස් ගතවීමට අවශ්‍ය අවසරය ඇයගේ පියාගෙන් ලබා ගැනීමට මැදිහත් විය.
ලියෑන්ගේ අවසන් ඡායාරූපය
ඒ අනුව, ඉස්තාම්බුල් වෙත ගිය ලියෑන් ප්‍රමුඛ මිතුරියන් තිදෙනා 2017 නව වසර උදාව සැමරීමට යොදාගෙන තිබුණේ රෙයිනා රාත්‍රී සමාජ ශාලාවයි. එහි විනෝදයෙන් කාලය ගත කළ ඇය තම දිවියේ අවසන් ඡායාරූපයද සමාජජාල තුළ පළ කර තිබුණේ, මලින් හිස ගවසා ගත්තෙකු ලෙසින් ඇයටම උරුම වූ සුන්දර සිනහවෙන්ද මුව සරසාගෙනය.
නමුත්, IS ඉස්ලාම් රාජ්‍යයේ හුදකලා වෘක්කයෙකු විසින් එම සමාජ ශාලාව ඉලක්ක කරගෙන විවෘත වෙඩි වරුසාවක් වපුරා තිබුණේ ඒ නව අවුරුදු උදාව සිදුවන රාත්‍රියේදීමය. එම ප්‍රහාරයෙන් මියගිය පිරිස 39 දෙනෙකි. තවත් විශාල පිරිසක් ඉන් තුවාල ලැබීය. මේ ආරංචිය කණ වැකුණු සැණින් ලියෑන්ගේ පියා වහාම ඉස්තාම්බුල් බලා ගුවන්ගත විය.
විවෘතව වෙඩි තබමින් සමාජ ශාලාවට ඇතුළු වූ ත්‍රස්තවාදියා
ප්‍රහාරයෙන් පසුව ලියෑන්ගේ මිතුරියන් තිදෙනා සොයාගෙන තිබූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු කිසිදු උපද්‍රවයකින් තොරව හමුවන විට එක් අයෙකු තුවාල ලබා තිබුණි. නමුත්, ඇයගේ තත්ත්වයද බරපතල නොවීය.
පැයෙන් පැය ගතවෙද්දී ලියෑන්ගේ පවුලේ උදවිය බලාපොරොත්තු සහගතව බලා සිටියහ. සිය දියණිය එක් රෝහලක නැත්නම් තවත් රෝහලක සිටිනු ඇති බව ඔවුන් පතන්නට වූහ. ඇයට කිසිදු අනතුරක් නොවන්නට ඇති බවද ඒ සැමගේ බලාපොරොත්තුව විය.
හඬා වැටෙන ලියෑන්ගේ ඥාතීන්
ටයිරා හි නිවසේ සිටි ලියෑන්ගේ මාමාගේ දුරකථනය නාද වූයේ මේ අතරතුරදීය. ඒ ඇගේ පියාගෙන් ලැබුණු පණිවුඩයකි. ඔහු ඡායාරූප කිහිපයක් එවන්නට විය. එහි තිබුණේ හදවතේ හැඩය ගත් රත්ත්‍රන් මුදුවකි. එමෙන්ම, දම් සහ කොළ වර්ණයෙන් යුතු වර්ණයන්ගෙන් යුතු ගල් ඇල්ලූ මාලයක්ද ඒ ඡායාරූ අතර විය. රිදී වර්ණයෙන් යුතු කාන්තා බෑගය ලෙයින් නැහැවුණු එකකි.
ඉස්තාම්බුල් බලධාරීන්ට අවශ්‍යව තිබුණේ මෙම ආම්පන්න ඔස්සේ ඒ ලියෑන් බවට ඇයගේ ඥාතීන් හරහා හඳුනාගැනීමය. නමුත්, ලියෑන්ගේ පියාට ඒ ආභරණ ගැන මතකයක් නැත. ඇය ඒවා නිවසේ වූ ඇයගේ මාමාට හා නැන්දණියට එවන්නට වූයේ ඒ නිසාය.
ලියෑන්ට විදෙස්ගත වීමට අවසර ඉල්ලා දුන් නැන්දණියට ඒ ආභරණ හා බෑග් හඳුනාගැනීමට වැඩි වේලාවක් ගතවූයේ නැත. ඒ සැබවින්ම ලියෑන්ය. ඇය ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනෙන විට නැන්දණිය සිහිසුන් නැති විය.
තමාගේ ප්‍රාණ වායුව ගත යුතුව තිබියදී ලියෑන්ගේ ප්‍රාණය ගත්තේ ඇයිදැයි කියමින් නැන්දණිය අදද හඬා වැටෙන්නේ ඇයට ඉස්තාම්බුල් වෙත යෑමට අවසර ලබාදීමේ ඉල්ලීම යළි නිවැරදි කිරීමට කිසිදු විකල්පයක් නොමැති නිසාය.
ලියෑන්ගේ දේහය ඊශ්‍රායලයට රැගෙන ආ අවස්ථාව
IS ඉස්ලාම් රාජ්‍යයේ හුදකලා වෘක්කයෙකුගේ ම්ලේච්ඡ ප්‍රහාරයක් හමුවේ ලියෑන් නසර් ඇතුළු තවත් වටිනා ජීවිත රැසක් තම ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය. ලෝකයක් වෙලාගත් ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට තිත තැබීමට ලොවම ඒකරාශී විය යුතු කාලය වැඩි ඈතක නොවන බව නම් සැබෑය.
ලියෑන් මෙන්ම ප්‍රහාරයට ගොදුරුව ජීවිතයෙන් සමුගත් තවත් තරුණ පිරිසක්