ඉස්තාන්බුල් නුවර දැවැන්ත රැලියක් සමග එර්ඩෝගාන්


තුර්කියේ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එරට ජනපති තයිප් රෙසෙප් එර්ඩෝගාන්ගේ නායකත්වයෙන් යුතුව මිලියනයකට අධික ජනතාවක් සහභාගී වූ දැවැන්ත රැලියක් ඉස්තාන්බුල් අගනුවරදී පැවැත්විණි.

ප්‍රජාතන්ත්‍රවාදයේ හා ජාත්‍යාලයේ රැලිය ලෙස පැවති මෙම දැවැන්ත ජනතා හමුවේදී අදහස් දැක්වූ එර්ඩෝගාන් හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූ නායකයන්ට මෙන්ම තුර්කියට අතපොවන විදෙස් බලවේග වෙත වාග් ප්‍රහාර එල්ල කරන්නට විය.

මෙම දැවැන්ත රැලියේදී හමුදා කුමන්ත්‍රණයේදී මියගිය 240 දෙනා සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබුණි.

"මේ දැන් සිටම අප යටතේ සේවය කරන අය පිළිබඳව අප හොඳ අවධානයකින් පසුවිය යුතුයි. විශේෂයෙන්ම අපේ හමුදාවේ සිටින්නේ කවුරුන්ද යන්න අප සොයාබැලිය යුතුයි. අපේ අධිකරණ සේවයේ සිටින්නේ කවුරුන්ද යන්න අප සොයාබැලිය යුතුයි. අපට පිටතින් යන අය දොරින් එළියට ඇද දැමීම අපේ කාර්යය විය යුතුයි" යනුවෙන් මෙහිදී ජනපති එර්ඩාගෝන් අවධාරණය කළේය.

පසුගිය මස 15 වැනිදා එරට තුළ සිදුවූ හමුදා කුමන්ත්‍රණය මෙහෙය වූයේ යැයි තුර්කියේ ඇඟිල්ල දිගු වන ප්‍රබලයෙකු ලෙස ඇමෙරිකාවේ රැකවරණය ලබමින් සිටින් ෆෙතුල්ලාහ් ගුලාන් හැඳින්විය හැකිය. මේ තත්ත්වය තුළ ඔහු යළි තුර්කිය වෙත පිටුවහල් කරන ලෙස එරට බලධාරීන් ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත. පසුගියදා ඇති වූ කුමන්ත්‍රණයෙන් පසුව තුර්කි රජය විසින් අත්අඩංගුවට ගත් පිරිස මේ වනවිට 18,000 ක් පමණ වන බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles