(UPDATE) ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් අතර ඓතිහාසික සාකච්ඡාවක් අද (27දා) පැවැත්විණි.
නව ධුරයේ වැඩභාර ගෙන සිය කාර්යාලයේ පූර්ණ වශයෙන් ගත කළ සිය ප්‍රථම දිනයේ පැවති මේ සාකච්ඡා සුවිශේෂී වැදගත්කමකින් යුතු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස් විය.
දකුණු ආසියානු කලාපයේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු ලෙස සැලකෙන ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින නිරන්තර ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමේ සංඥාවක් ලෙස මෙම සාකච්ඡා හැඳින්විය හැකි බවද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පාකිස්තානයේ සිටින ආයුද සන්නද්ධ සටන්කාමීන් මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස පාකිස්තාන අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි ඉන්දීය නව අගමැතිවරයා, 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි නගරය ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
පුද්ගලයන් 166 දෙනෙකුට මරු කැඳවමින් මුම්බායි නගරය ඉලක්ක කර එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයද ඉන්දු පාකිස්තාන සබඳතා බිඳ වැටීමට හේතු විය.
එහිදී අදහස් දැක්වූ පාකිස්තාන නායකයා පවසා තිබුනේ කාලාන්තරයක් පුරා දෙරට අතර පවතින අවිශ්වාසයේ උරුමය පසෙකින් තබා සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් භාරතිය ජනතා පක්ෂයේ ආරාධනය පිළිගෙන තම දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගි වීම සම්බන්ධයෙන් ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් වෙත විශේෂ ස්තූතිය පුදකර ඇති බව වාර්තා වෙයි.
ෂරීෆ් මෙන්ම, දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයන් ඊයේ පැවති මෝදි දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වූ අතර, එය ඓතිහාසික අවස්ථාවක් බවට පත්කිරීමට ෂරීෆ්ගේ පැමිණීමද ඉවහල් විය.