ඉන්දුනීසියා පල්ලි ප්‍රහාරයට සිරියාවෙන් IS පවුලක් ඇවිත්


ඉන්දුනීසියාවේ දේවස්ථාන තුනක් ඉලක්ක කරමින් පසුගිය ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කර ඇත්තේ සිරියාවේ සිට පැමිණි ISIS හා සම්බන්ධ 06 දෙනෙකුගෙන් යුතු එකම පවුලේ සාමාජිකයන් පිරිසක් බව අනාවරණය වී තිබේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව එහි වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගත් අතර, ඉන් පුද්ගල ජීවිත 13ක් අහිමි වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉන්දුනීසියාවේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන සුරබයා නුවර දේවස්ථාන තුනක් වෙත මෙම ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරෙන බෝම්බ එල්ල විය.

එහිදී, මෙම පවුලේ මව සහ දියණියන් දෙදෙනා එක් දේවස්ථානයක් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරද්දී, එම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා තවත් දේවස්ථාන දෙකක් වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් එකී ම්ලේච්ඡ ක්‍රියාව සිදුකර ඇත.

ඉන්දුනීසියානු ජාතික පොලිස්පති ටිටෝ කරනාවියන් පවසන්නේ මෙම පවුලේ සාමාජිකයන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායමේ ආභාසය ලබන තවත් කණ්ඩායමක් ලෙස සැලකෙන ජෙමාහ් අන්ෂරූට් ඩවූලාහ් සාමාජිකයන් ලෙස හඳුනාගෙන ඇති බවයි. ඔවුන් ඉන්දුනීසියාව තුළ ක්‍රමයෙන් දලුලා වැඩෙන ත්‍රස්ත කණ්ඩායමක් බවද කියයි.

සිරියාවේ ගැටුම් සමග එරට අත්හැර පැමිණෙන ඉන්දුනීසියානුවන් අතර මෙම පවුලේ සාමාජික පිරිසද යළි ඉන්දුනීසියාවට පැමිණි ඇති බව පොලිස් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතත්, ඔවුන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සමග ගනුදෙනු සිදුකර ඇති තොරතුරු පිළිබඳ පොලීසිය සඳහනක් නොකරයි.

දශකයකට පමණ පසුව ඉන්දුනීසියාව තුළ සිදුවූ අතිශය දරුණුම ප්‍රහාර මාලාව ලෙස මෙය හැඳින ගැනෙන අතර, මින් තවත් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාර නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ පවසා සිටියේද මෙය අතිශය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි. එමෙන්ම, මෙම අපරාධ ජාලයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන් ඉන්දුනීසියාවෙන් අතුගා දමන බවද ඔහු අවධාරණය කළේය.

ලෝකයේ මුස්ලිම් බහුතරයක් වෙසෙන විශාලතම රාජ්‍යයක් ලෙස සැලකෙන ඉන්දුනීසියාව තුළ පසුගිය වසර කිහිපයේදී IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ බලපෑමට ලක්වෙමින් ඇත්තේ මෙලෙසිනි.

2016 ජනවාරි මාසයේදී ජකාර්තා අගනුවර සිදුවූ ප්‍රහාර මාලාව සහ වෙඩි තැබීම්වලින් පුද්ගල ජීවිත 4ක් අහිමි විය. එය ඉන්දුනීසියාව තුළ IS ත්‍රස්තයන් හා සම්බන්ධ ප්‍රථම සිදුවීම විය. අනතුරුව මෙම ප්‍රහාරය පසුපසද ජෙමාහ් අන්ෂරූට් ඩවූලාහ් කණ්ඩායම සිටින බව හැඳින ගැනුණි. ඔවුන් IS ත්‍රස්තයන්ට පක්ෂපාතී කණ්ඩායමකි.

ජකාර්තා ප්‍රහාරය සිය ම්ලේච්ඡ ත්‍රස්ත ජාලයේ ප්‍රචාරක වැඩසටහනක් ලෙස භාවිත කළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් මේ හරහා අග්නිදිග ආසියානු කලාපය පුරා සිය ත්‍රස්ත මෙහෙයුම් දියත් කරමින් මෙවැනි තවත් ප්‍රහාර එල්ල කරන ලෙස සිය හුදකලා වෘක්කයන්ගෙන් සහ සිය ආභාසය ලබන ත්‍රස්ත කණ්ඩායම්වලින් ඉල්ලා ඇති බව කියවුණි.

2017 වසරේදී ඉන්දුනීසියානු හමුදා ප්‍රධානී ජෙනරාල් ගටෝට් නුර්මන්ට්යෝ පවසා සිටියේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් රටේ සෑම පළාතකම පාහේ සිය ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිටින බව අනාවරණය වූ බවයි.

විශේෂයෙන්ම සිරියාවේ රජයේ හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට ගොස් සිටින සිය ගණනක් වූ ඉන්දුනීසියානුවන් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රසතයන්ගේ ආභාසය ලබමින් යළි ඉන්දුනීසියාවට පැමිණ ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එමෙන්ම, වත්මන් රැඩිකල් කණ්ඩායම් මෙන්ම නව පරම්පරාවේ සාමාජිකයන් ජිහාඩ් ත්‍රස්ත වෙබ් අඩවි හරහා සම්බන්ධ කරමින් ඔවුන් තුළ විෂබීජ පතුරුවමින් මෙම හුදකලා මෙහෙයුම් අරඹා ඇති බවද එරට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. එහිදී, ප්‍රධාන කණ්ඩායම් ලෙස නොසිට කුඩා කණ්ඩායම් ලෙස බෙදී ආරක්ෂක අංශවල උකුසු ඇසින් වෙන්ව මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ගේ නව වැඩපිළිවෙළ ලෙසද හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මේ වනවිට ඉන්දුනීසියාව තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා සම්බන්ධ කණ්ඩායම් 30ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉග්නිදිග ආසියාව තුළ IS ඉස්ලාම් රාජ්‍ය පළාතක් බිහිකිරීමේ සිහිනයෙන් තවදුරටත් කටයුතු කරමින් සිටින බවද අනාවරණය වී තිබේ.

1_Indonesea 2 3 4

 



Recommended Articles