ඉන්දීය දෘෂ්ටිගහණයේ තවත් පුරුකක්-වැළඳ ගන්නා අම්මා


ඉන්දියාව තුළ 'වැළඳ ගන්නා ශාන්තුවරිය' ලෙස සමාජජාල තුළ ප්‍රසිද්ධියක් ලබා සිටින 'අම්මා මාතා' චරිතය යනු විවිධ දෘෂ්ටින්ගෙන් බැඳුණු ඉන්දීය සමාජයේ තවත් එක් භූමිකාවකි.

විදෙස් වාර්තාවල මෙම 'අම්මා මාතා' සම්බන්ධයෙන් වැඩි කතාබහක් ආරම්භ වූයේ ඇමෙරිකානු ජාතික පොප් තරුවක් වන කෙනී වෙස්ට් තම සමාජජාල ගිණුමකට ඇගේ ඡායාරූපයක් මුසුකිරීමත් සමගිනි.

ඔහු ඊට යටින් සටහන් කර තිබුණේ 'ඇතැම් අවස්ථාවල අප කාටත් අවශ්‍ය වන්නේ වැළඳ ගැනීම්' යනුවෙනි. එමෙන්ම, 'අම්මා මාතා' මේ වනවිට වැළඳ ගැනීම් මිලියන 32කට වඩා සිදුකර ඇති බවද එහි සටහන් විය.

ඇයගේ මෙම වැළඳ ගැනීමක් තුළ තවෙකෙකු සුවපත් කරන සුවයක් පවතින බවට මතයක් ඉදිරිපත් කරමින් මෙම භූමිකාව ඉන්දියානු සමාජයද අභිභවා මේ වනවිට තවත් බොහෝදුර පැතිරී ගොස් ඇත.

ඇයව වැළඳ ගැනීම සඳහා දහස් ගණන් මිනිසුන් පැය ගණන් පෝලිම්වල රැඳී සිටින අතර, වරක් ඇය පැය 20ක කාලයක් තුළ වැළඳ ගැනීම් 40,000ක් සිදුකර තිබූ බවද කියැවෙයි. තම වැළඳ ගැනීම ආදරය, දයාව මුසුකළ වැළඳ ගැනීම් බව ඇය පවසා තිබේ.

කෙසේ වෙතත්, 'අම්මා මාතා' හමුවීමට හෝ ඇය වැළඳ ගැනීමට කෙනී වෙස්ට්ට අවස්ථාවක් හිමිවූයේද, නැද්ද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරක් නොවීය.

වෙනස් දෙයක්, වෙනස් අදහසක්, වෙනස් ක්‍රියාවක් මගින් ලෝකය මුලා කරමින් තම බඩවියත රැකගැනීම සඳහා ආගම දහම පවා උගසට තැබූ මිනිසුන් එදාටත් වඩා අද වැඩිය.

වර්තමානයේදී අප රටේද හොර රහතුන් සහ හොර මාර්ගඵල ලාභීන් පහළ වී ඇති බව යූටියුබ් ජාලයේ එක් මොහොතක් රැඳී සිටීමෙන්ම පසක් කරගත හැකිය.

එදා දඹදිව බුදුරදුන් පහළ වූයේද ඉන්දියාව එකම දෘෂ්ටිගහණයක පැටලී සිටි වකවානුවකය. එසේ විවිධ දෘෂ්ටීන්ගෙන් බැඳුණු බොහෝ මිනිසුන්ට සෙත සැලසීමට ඒ නිර්මල හේතුඵල දහමට හැකිවිය.

නමුදු, බුදුරදුන්ගේ පිරිනිවීමෙන් පසුව ඉන්දියාව ක්‍රමයෙන් යළිත් එකම දෘෂ්ටිගහණයක පැටලෙන්නට වූයේ ඒ නිර්මල දහම ඉන්දියාවෙන් අතුරුදන් කරමිනි.

වර්තමානයේදී ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයක්, ලෝකයේ දියුණුතම රාජ්‍යයක් බව බොහෝ දෙනෙකු එකහෙලා පිළිගත්තත්, ඉන්දියාව අද ස්ත්‍රී දූෂණ වාර්තා තබන රාජ්‍යයකි. මාර්ග නීති අකුරක් නොදත් රාජ්‍යයකි. සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම වළපල්ලට ගිය රාජ්‍යයකි. ඉන්දියාවේ සංචාරය කළ අයෙකුට ඉන්දියාව ලබා ඇති භෞතික දියුණුවට වඩා ඔවුන් අහිමි කරගෙන ඇති ආධ්‍යාත්මික දියුණුව අතිමහත් බව තේරුම්ගත හැකිය.

ඉන්දියාවට අත්වූ මේ ඉරණම අද ශ්‍රී ලංකාවටද අත්වෙමින් පවතින බව අතිශෝක්තියක් නොවේ. ශ්‍රී ලංකාවද පෙරකී ලෙසින් විවිධ හොර මාර්ගඵල ලාභී නඩවල පදයට නටන තත්ත්වයකට පත්ව ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

1_India



Recommended Articles