ශීඝ්‍රගාමී දුම්රියක් පීලි පැනීමෙන් උතුරුදිග ඉන්දියාවේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ඊයේ (20දා) සිදුවූ අනතුරින් මියගිය සංඛ්‍යාව 120 ඉක්මවා ඇති බවත්, තවත් 150කට වැඩි පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවත්, ඉන්දීය පොලීසිය පවසයි.
ඉන්දෝර්-පට්නා ශීඝ්‍රගාමී දුම්රිය අලුයම 03.00 ට පමණ කන්පූර් නගරය ආසන්නයේදී මෙම අනතුරට මුහුණදී තිබූ අතර, ඒ සමගම දුම්රියේ මැදිරි 14ක් මාර්ගයෙන් ඉවතට වීසී වී තිබූ බව විදෙස් වාර්තා පවසයි.
තුවාලකරුවන් හා ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු අනතුර හේතුවෙන් ඇඹරී ගොස් ඇති දුම්රිය මැදිරිවලින් ඉවතට ගැනීම ඊයේ සවස් වනතුරුත් සහන කණ්ඩායම් විසින් සිදුකරමින් පැවතුණි. දුම්රිය බලධාරීහු පවසා සිටියේ, ජීවිත බේරාගැනීම වෙනුවෙන් සෑම ප්‍රයත්නයක්ම ගෙන තිබුණද, ඇඹරී ගොස් ඇති දුම්රිය මැදිරි කපමින් තුවාලකරුවන් පිටතට ගැනීම පහසු කාර්යයක් නොවූ බවයි.
කෙසේ වෙතත්, මෙම අනතුරට හේතුව ඊයේ සවස් වනවිට තහවුරු කරගෙන නොතිබුණු අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව පොලීසිය මෙන්ම, දුම්රිය බලධාරීහු පැවසූහ. මෙම දුම්රිය පීලි පනින අවස්ථාවේදී වැඩි දෙනෙකු නින්දේ පසුවී ඇති අතර, අනතුරත් සමග දුම්රිය එන්ජිම ආසන්නයේ වූ මැදිරි දෙක පෙරළී යෑමෙන් එම මැදිරිවල සිටි වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.
මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ඛේදවාචකයක් බව පවසා ඇති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, අනතුරින් විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන බවද පවසා තිබේ. ඉන්දියාව තුළ දුම්රිය යනු ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වුවත්, එරට දුම්රිය අනතුරු සුලභ කරුණක් බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.