ඉන්දීය තරුණියන්ගේ මරණ සියදිවි හානිකර ගැනීමක්ලු


සමූහ දූෂණයකට ලක්වීමෙන් පසු ඝාතනය කොට ගසක එල්ලූ බවට විශ්වාස කළ තරුණියන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කරන ඉන්දීය මධ්‍යම විමර්ශන දෙපාර්තමේන්තුව එය සියදිවි නසා ගැනීමක් බව පවසයි.

පසුගිය මැයි මාසයේදී මෙම මරණ සිදුවූ අතර, ඉන්දියාවේ කාන්තා අයිතීන් සම්බන්ධයෙන් විශාල පිබිදීමක් ඇති කිරීමට මෙම තරුණියන්ගේ මරණ හේතු විය.

පෙර ඉදිරිපත් වූ වාර්තා සහ මරණ වාර්තාවට පරස්පර නව වාර්තාව ඉදිරිපත් කරන ඉන්දියාවේ මධ්‍යම විමර්ශන දෙපාර්තමේන්තුව විශේෂඥ වාර්තා 40ක් පමණ සැලකීමට ගැනීමෙන් පසු එම ඝාතනය සියදිවි නසා ගැනීමක් බව අවධාරණය කරයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පීඩිත කුලයක ගැහැණු දරුවන් දෙදෙනෙකු වූ ඔවුන්ගේ මරණ ඉන්දියාව පුරා කාන්තා අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාර ඇති කිරීමටද හේතු විය.

මේ අතර, අදාළ මරණ සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකුද පසුගිය සැප්තැම්බර් මාසයේදී නිදහස් කරනු ලැබීය.

එහිදී, මෙම දැරියන් සියදිවි නසාගත්තේ නම්, ඔවුන් සියදිවි හානිකර ගත්තේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි විය යුතු වුවත්, ඒ සම්බන්ධයෙන්ද නිවැරදි තොරතුරක් මෙතෙක් කිසිදු වගකිව යුතු පාර්ශ්වයකින් ඉදිරිපත්ව නොමැති බව ඉන්දීය මාධ්‍ය පවසයි.



Recommended Articles