ඉන්දියාවේ මුදල් නෝට්ටු අර්බුදයෙන් උද්ඝෝෂණ


ඉහළ වටිනාකමක් සහිත රු.500/- සහ රු.1,000/- නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයට එරෙහි විරෝධතා රැළි කිහිපයක්ම ඉන්දීය නගර කිහිපයකදීම පැවැත්වී තිබුණි.

විශේෂයෙන්ම, ඉන්දීය කොංග්‍රස් පක්ෂය හා ඊට අනුබද්ධ වෙනත් දේශපාලන ව්‍යාපාර කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම උද්ඝෝෂණ පැවති බව විදෙස් වාර්තා පවසයි.

කළු සල්ලි සුදු කිරීමේ අරමුණින් පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීන්දුව හරහා ඉන්දියාව තුළ බරපතල මූල්‍ය අර්බුදයක් ඇති කරමින් ආර්ථිකය අඩපණ කිරීමක්ද සිදුවිය හැකි බවටද අනාවැකි පළ වී තිබේ.

ඉන්දියාවේ ලක්නව්, කොල්කටා සහ බැංගලෝර් වැනි නගරවල අද (28දා) දිනය පුරා විරෝධතා ව්‍යාපාර පැවති අතර, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලය හිමි වාම සන්ධානය තුළ නියෝජනය වන දේශපාලන පක්ෂ කිහිපයක්ද එම ප්‍රාන්තයේ සියලු කටයුතු අත්හිටුවන මෙන් ඉල්ලීමක් කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

එනමුදු, පාලක පක්ෂයේ බලය රැඳි බිහාර් සහ ඔරිස්සා වැනි ප්‍රාන්තවල මහඇමතිවරුන්ද ඇතුළුව ප්‍රාන්ත රැසක ප්‍රධාන පෙළේ නායකයන් මෙම විරෝධතා ව්‍යාපාරයන්ට විරුද්ධ වෙමින් ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවද කියැවෙයි.

ඔවුන් පවසා ඇත්තේ ඉහළ වටිනාකම් සහිත පැරණි මුදල් නෝට්ටු අවලංගු කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ගත් තීන්දුව දූෂණ මැඬලීමට ඉවහල්වන බැවින් එම ක්‍රියාමාර්ගය අනුමත කළ යුතු බවය.



Recommended Articles