ඉන්දියාවට අපහාස කළ නිව්යෝක් ටයිම්ස් සමාව ඉල්ලයි


ඇමෙරිකාවේ සුප්‍රකට නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඉන්දීය අඟහරු අභ්‍යවකාශ මෙහෙයුම උපහාසයට ලක් කරමින් පළ කරන ලද කාටූනයක් සම්බන්ධයෙන් එම පුවත්පත පාඨකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

මෙම කාටූනයේදී, ඉන්දියාව ගවයකු රැගත් ගොවියකු ලෙස දක්වමින්, එම ගොවියා ප්‍රභූන්ට පමණක් සීමා වූ අභ්‍යවකාශ සමාජ කාමරයක දොරට තට්ටු කරන ආකාරය නිරූපනය කර තිබුණු අතර, කාටූනය පළ කිරීමත් සමග ඊට විරෝධය ප්‍රකාශ කරමින් පාඨක පැමිණිලි ගලා ඒම නිසා පුවත්පත මෙසේ සිය පාඨකයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

ඉන්දියාව සිය ප්‍රථම අඟහරු අභ්‍යවකාශ තරණය සාර්ථකව සිදුකළ අතර, එහිදී, ‘මංගල්යාන්’ අභ්‍යවකාශ යානය අඟහරු වටා සාර්ථකව කක්ෂගත කිරීමට ඉන්දියාව සමත් විය. මීට සති කිහිපයකට පෙර ඇමෙරිකාවද අඟහරු වෙත අභ්‍යවකාශ යානයක් යැවූ අතර, ඒ හා සැසඳීමේදී ඉන්දියාව ඉතා අඩු මුදලකින් අඟහරු ජයගෙන තිබුණි.

නිව්යෝක් ටයිම්ස් කර්තෘවරයා සිය ෆේස්බුක් පිටුවෙන් කියා සිටින්නේ මෙම අභ්‍යවකාශ ගවේෂණය තවදුරටත් ධනවත් හෝ බටහිර රටවලට පමණක් සීමා වූවක් නොවන බව නිරූපනය කිරීමට ඔවුන් කටයුතු කළ බවයි. කෙසේ වෙතත්, කාටූනය හේතුවෙන් යම් පාඨකයෙකුට සිත් තැවුලක් ඇතිවූයේ නම් සමාව ඉල්ලා සිටින බවද කතුවරයා වැඩිදුරටත් කියා සිටියි.



Recommended Articles