ඉතියෝපියානු අගමැතිවරයා හදිසියේම ධුරයෙන් ඉවත්වේ


ඉතියෝපියාවේ අගමැති හෙයිලේමැරීම් ඩෙසේල්ග්න් හදිසියේම සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ධුරයෙන් ඉවත්වීම පිළිබඳව මෙතෙක් පැහැදිලි හේතුවක් සඳහන් කර නොතිබුණි. කෙසේ වෙතත්, එරට පාලක පක්ෂ සභාපති ධුරයෙන්ද ඉවත්වීමට ඔහු කටයුතු කර ඇති බව සඳහන් වෙයි.

ඉතියෝපියාවේ ඔරෝමියා සහ අම්හාරා යන ප්‍රදේශවල මාස කිහිපයක් පුරා පැවැත්වෙන දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අගමැතිවරයාගේ ඉවත්වීමට හේතුව විය හැකි බව එරට මාධ්‍ය පවසයි.

විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් විසින් ආරම්භ කර ඇති මෙම විරෝධතා ව්‍යාපාර හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සඳහන් වෙයි.

රජයේ අත්අඩංගුවේ පසුවූ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් වහාම නිදහස් කර ගැනීම මෙම විරෝධතාවල එක් අරමුණක් වූ අතර, මේ හේතුවෙන්ම එරට රජය පසුගිය සතිය වනවිට විශාල සිරකරුවන් පිරිසක් නිදහස් කර තිබුණි. කෙසේ වෙතත්, එරට විරුද්ධ පක්ෂය ඉන් සෑහීමකට පත්ව නොසිටි බව කියැවෙයි.

2015 වසරේ සිටම ඉතියෝපියාව තුළ වරින් වර උද්ඝෝෂණ ඇති වූ අතර, රටේ පවතින දූෂණය, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ මෙම උද්ඝෝෂණ රැල්ලට හේතු වී තිබුණි.

1_Ethiopia



Recommended Articles