ඇෆ්ගන් හමුදා කඳවුරකට තලේබාන් ප්‍රහාරයක් - 43ක් නසී


ඇෆ්ගනිස්තානයේ, දකුණුදිග කන්දහාර් පළාතේ හමුදා කඳවුරක් ඉලක්ක කරමින් තලේබාන් සටන්කාමීන් බෝම්බ පුරවාගත් හම්වි රථ දෙකක නැගී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇෆ්ගන් සොල්දාදුවන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 9 දෙනෙකු තාවාල ලබා ඇති අතර, 6 දෙනෙකු අතුරුදන් බව ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

මෙම ප්‍රහාරය සිදුකළ තලේබාන් ත්‍රස්තවාදීන් 10 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කන්දහාර් පළාතේ, මයිවෑන්ඩ් දිස්ත්‍රික්කයේ, චාෂ්මෝ ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය මෙම සතිය තුළ ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ ඉලක්ක කරමින් එල්ල වූ තෙවැනි ප්‍රබල ප්‍රහාරයක් ලෙස සැලකෙයි.

මේ අතර, තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ අලුයම් කාලයේ සිදුවූ ලේ වැගිරීමේ වගකීම තම සංවිධානය භාරගන්නා බවයි.

මීට දින දෙකකට පෙර නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ගර්ඩේස් නගරයේ පිහිටි පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට කඩා වැදුණු මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ තුවක්කුකරුවන් විසින් සිදුකරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මින් තවත් 150ක පමණ පිරිසක් තුවාල ලැබීය.

ඇෆ්ගනිස්තානය තුළ ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර තවමත් අවසන් නොමැති බව මෙම ආසන්නතම ප්‍රහාර මාලාවෙන් ප්‍රකට වන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Video still shows Afghan security personnel on vehicles as an area near the Kabul airport comes under attack2



Recommended Articles