ඇෆ්ගන් ගෝත්‍රිකයන්ට හසුවූ පාකිස්තාන නියමුවන් නිදහස්


ඇෆ්ගනිස්තානය වෙත හදිසි ගොඩබෑමක් සිදුකළ පාකිස්තානයට අයත් හෙලිකොප්ටර් යානය කාර්ය මණ්ඩලය ඇෆ්ගන් ගෝත්‍රිකයන්ගෙන් නිදහස් කරගැනීමට හැකි වී තිබේ.

පාකිස්තාන කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු හා රුසියානු නිලධාරියෙකු එහි ගමන් කර ඇති අතර, පසුගිය අගෝස්තු 4 වැනිදා එම යානයේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය ඇෆ්ගනිස්තානය වෙත හදිසි ගොඩබෑම සිදුකර තිබුණි.

එහිදී, ගොඩබිම් දේශසීමා හරහා මෙම කාර්ය මණ්ඩලය නැවත පාකිස්තානය වෙත ලබාදීම සිදුව ඇති බවත්, ඔවුන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රුසියාවේ නිෂ්පාදිත එයි.අයි.17 වර්ගයේ යානය පන්ජාබ් පළාත් රජයට අයත් වූවකි. එය පේෂාවර් නුවර සිට රුසියාව වෙත ගමන් කරමින් සිට ඇත්තේ එහි වූ නඩත්තු කටයුත්තක් වෙනුවෙනි. කෙසේ වෙතත්, එම ගමනේදී සිදුවූ කාර්මික දෝෂයක් නිසා ඇෆ්ගනිස්තානයේ ලොගාර් පළාත වෙත මෙම හදිසි ගොඩබෑම සිදුකර තිබුණි.

එහිදී, මෙම කාර්ය මණ්ඩලය එම ප්‍රදේශයේ ඇෆ්ගන් ගෝත්‍රිකයන්ට හසුව තිබුණු අතර, පසුව ඔවුන් මුදාගැනීම සඳහා පාකිස්තාන හා රුසියානු බලධාරීන් ඇෆ්ගනිස්තානය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාකිස්තානය රජය එම ගෝත්‍ර නායකයන් සමග සාකච්ඡා කර මෙම නිදහස් කිරීම සිදුකර තිබේ.



Recommended Articles