ඇමෙරිකා රාජතාන්ත්‍රිකයන් 755ක් රුසියාව දොට්ට දමයි


ඇමෙරිකාව විසින් රුසියාවට පණවනු ලැබූ නවතම සම්බාධකවලට විරෝධය පාමින් රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රික නිලධාරීන් 755කට රටින් පිටවන ලෙස රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබේ.

රුසියාවේ සිටින ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන් ප්‍රමාණය සාපේක්ෂව අඩුකළ යුතු බව පසුගිය සිකුරාදා දිනයේදී රුසියානු ජනාධිපතිවරයා පවසා සිටියත්, ඔවුන් කොපමණ ප්‍රමාණයක් රටින් පිටත්ව යා යුතු දැයි පවසා නොතිබුණි.

කෙසේ වෙතත්, මෙම නව නියෝගය අනුව එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා වනවිට ඇමෙරිකානු රාජාතාන්ත්‍රික නිලධාරීන් 755ක් අනිවාර්යයෙන්ම රුසියාවෙන් පිටවිය යුතු වෙයි.

මේ ආකාරයෙන් ඇමෙරිකානු නිලධාරීන් පිරිස අඩුකළ විට, ඇමෙරිකාවේ සේවයේ නියුතු රුසියානු රාජාතාන්ත්‍රිකයන් 455ක අගය හා ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ගේ ගණන සමාන වන බවද සඳහන් වෙයි.

මෙය මෑත ඉතිහාසය තුළ ලෝකයේ ඕනෑම රටක, රාජතාන්ත්‍රික මට්ටමින් විශාල නිලධාරීන් පිරිසකට එරෙහිව ගනු ලැබූ ඓතිහාසික නියෝගයක් ලෙස දේශපාලන විචාරකයෝ පවසති.



Recommended Articles