ඇමෙරිකාව තුළ සුළු ජාතීන්ට හිමි ස්ථානය වේදනාව දනවන්නක් - ඔබාමා


කළු ජාතික සහ ස්පාඤ්ඤ භාෂාව භාවිත කරන සුළු ජාතික ඇමෙරිකානු තරුණයන් එරට සමාජය තුළ නිරන්තරයෙන් කොන් වී සිටින බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා සිටියේය.

වාර්ගික සුළුතර ජන කණ්ඩායම්වල තරුණ පරපුරට වැඩිපුර අවස්ථා විවෘත කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් අරඹන බව පවසමින් ජනාධිපතිවරයා මෙම අදහස් මතු කළේය.

මෙම නව වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරමින් ඉතා හැඟීම්බර කතාවක් කළ ජනාධිපති ඔබාමා, සුළු ජාතික තරුණයන්ට සමාජයේ හිමි ස්ථානය සම්බන්ධ සංඛ්‍යාලේඛන වේදනාව දනවන්නක් බව අවධාරණය කළේය.

ඇමෙරිකාවේ වෙසෙන එම වාර්ගික සුළුතර තරුණයන් දකින විට තමන්ට තමාගේම යෞවන විය පෙනෙන බවද ඔබාමා කියා සිටියේය.

“මේ තරුණයන් දකින විට මට මගේ තරුණ කාලය සිහිපත් වෙනවා. එහි එකම වෙනස නම් මා හැදි වැඩුනේ සමාව දීමට පුරුදු පුහුණු වුන පරිසරයක වීමයි. ඒ නිසා වරදක් කළවිට එහි ප්‍රතිඵලය එතරම් දරුණු වුනේ නෑ” යනුවෙන් ඔහු කියා සිටියේය.

“මගේ දෙමාපියන් සහ ආච්චිලා සීයල පමණක් නොවෙයි, ගුරුවරුන් සහ ප්‍රජා නායකයන් මාව දිරිමත් කළා. හොඳින් ඉගෙන ගෙන, මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙයන් දරුවෝ කියල ඔවුන් මට ගුරුහරුකම් දුන්නා.”

ඇමෙරිකානු සංඛ්‍යාලේඛන පෙන්වාදෙන පරිදි එරට වාර්ගික සුළුතර තරුණයන් වැඩි පිරිසක් ප්‍රචණ්ක්‍රියා හා අපරාධවලට ගොදුරු වන බවත්, ඔවුන් වැඩි දෙනා ඒ හේතුවෙන් බන්ධනාගාරගත කෙරෙන බවත් පැවසෙයි.



Recommended Articles