ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ උසස් පාසලක ශිෂ්‍යයෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
සැන්ටා ෆී උසස් පාසලේම සිසුවෙකු ලෙස සැලකෙන 17 හැවිරිදි දිමිත්‍රිඔස් පැගවුර්සිස් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ෂොට්ගන් එකක් සහ රිවෝල්වරයක් භාවිත කරමින් ඔහු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙම ගිනි අවි ඔහුගේ පියා සතු ගිනි අවි බව හෙළි කරගෙන තිබේ. එමෙන්ම, ඔහුගේ පියා එකී ගිනි අවි නීත්‍යනුකූලව ළඟ තබාගත් ඒවා බවද මාධ්‍ය පවසයි.
පොලීසිය පවසන පරිදි මෙම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිස එම විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුන්ය.
මෙම සිසුවා ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇති ආකාරය ඔහුගේ ජංගම දුරකථනය, පෞද්ගලික දිනපොත සහ පරිගණකය පරීක්ෂා කිරීමේදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, ප්‍රහාරයෙන් පසුව සියදිවි හානිකර ගැනීම ප්‍රහාරයේ අවසන් ජවනිකාව වී තිබේ.
නමුත්, අවසානයේදී ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු ඔහුට සියදිවි හානි කරගැනීමට ශක්තියක් නොමැති වී ඇති අතර, ඒ ක්ෂණයෙන් පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී මෙම උසස් පාසලේ සිසුන් 1,400ක් පමණ ඉගෙනුම ලබමින් සිට ඇති බවත්, ආචාර්යවරුන්ගේ දක්ෂතාව නිසා සිදුවීමට ගිය මහා විනාශයකින් දරුවන් විශාල පිරිසක් බේරාගෙන ඇති බවත් සඳහන් වේ.
මෙම ප්‍රහාරයෙන් පසුවත් ඇමෙරිකාවේ පාසල් සිසුන් හා අධ්‍යාපන ආයතන ආරක්ෂා කරන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
කෙසේ වෙතත්, ඇමෙරිකාව තුළ ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් වූ කතිකාව ආරම්භ වූයේ අද ඊයේ නොවේ. වරින් වර එරට පාසල් තුළ සිදුවන ම්ලේච්ඡ ඝාතන රැල්ල අවසන් කිරීමට නම් ගිනි අවි භාවිතයේ දැඩි නීති අවශ්‍ය බවට සමාජ විරෝධයක් රට තුළින්ම පැන නැගී තිබේ.
නමුත්, ඒ වෙනුවට ගුරුවරුන් ගිනි අවිවලින් සන්නද්ධ කිරීම වැනි හාස්‍යජනක පිළිතුරු එරට පාලකයන්ගෙන් ලැබෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම ඇමෙරිකාව තුළ ක්‍රියාත්මක ගිනිඅවි භාවිත කරන්නන්ගේ සංගම්වල දැඩි බලපෑමද මෙවැනි නීති ඇති කිරීම ප්‍රමාද වීමට හේතුවක් බවද සඳහන් වේ.