ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්ත වෙබ්අඩවි වෙත IS ප්‍රහාරයක්


ඇමෙරිකාවේ, ඔහියෝ ප්‍රාන්තයේ රජයට සම්බන්ධ වෙබ් අඩවි කිහිපයක් ඉස්ලාම් රාජ්‍යයේ IS ත්‍රස්තයන්ගේ පණිවුඩයක් දර්ශනය වන ලෙස හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.

ඔහියෝ ආණ්ඩුකාර ජෝන් කාසිෂ්ගේ වෙබ් අඩවියද ඇතුළුව ප්‍රහාරයට ලක්ව ඇති වෙබ් අඩවිවල 'මුස්ලිම් රාජ්‍යයන් තුළ හැලෙන සෑම ලේ බිංදුවකටම ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඇමෙරිකානුවන් වගකිව යුතුය' සහ 'මා ඉස්ලාම් රාජ්‍යයට ආදරය කරනවා' යනුවෙන් දැක්වෙන සටහනක් දර්ශනය වීමට සලස්වා ඇති බව බලධාරීහු පවසති.

ටීම් සිස්ටම් ඩීඉසෙඩ් නමැති හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවද සඳහන් වේ.

ඒ අනුව, එරට වේලාවෙන් ඊයේ සවස 5.30 පමණ වනවිටත් ඔහියෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ වෙබ් අඩවිය යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට එහි අලුත්වැඩියාවන් සිදුකරමින් පැවති බැවින් එය ක්‍රියාවිරහිතව තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

එහිදී, මෙම වෙබ් අඩවිවල දර්ශනය වීමට සැලැස්වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයනගේ පණිවුඩය සුදු හා කළු වර්ණයන් යොදාගෙන අරාබි සංකේතද භාවිත කරමින් සටහන් කර ඇත්තේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ධජය හා ගැළපෙන අයුරින් බවද බලධාරීහු පවසති.

මේ ආකාරයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ සෙසු පරිගණක හා ආයතන අතර ඔහුයෝ ආණ්ඩුකාරවරයාගේ බිරිඳගේ වෙබ් අඩවිය, ඔහියෝ පුනුරුත්ථාපන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය, ඔහියෝ සෞඛ්‍ය කාර්යාල වෙබ් අඩවිය, ඔහියෝ පොලිස් ප්‍රධානී වෙබ් අඩවිය සහ ඔහියෝ ඖෂධ දෙපාර්තමේන්තු වෙබ් අඩවියද වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට හා මූලධර්මවාදීන්ට එරෙහිව ගෙනයන දැඩි ප්‍රතිපත්තිය මෙවැනි ප්‍රහාරයකට තුඩුදී ඇති බව විශ්වාස කෙරෙයි.

 



Recommended Articles