රුසියාව පසුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණය කෙරෙහි අතපෙවීමක් කළේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ මන්දැයි ජනපති ට්‍රම්ප් හිටපු ජනපති බරැක් ඔබාමාට චෝදනා කර තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී රුසියානු අතපෙවීමක් ගැන හිටපු ජනපති බරැක් ඔබාමා හොඳින්ම දැන සිටි බවත්, ඔහු ඒ පිළිබඳව කිසිත් නොකළ බවත් ට්‍රම්ප් පවසා ඇත.
එම මැතිවරණය සඳහා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටීන්ගේ සෘජු අතපෙවීමක් පවතින බව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට හිටපු ජනපති බරැක් ඔබාමා දැන සිටි බවට වොෂිංටන් පෝස්ට් හි පළ වූ වාර්තාවක් පදනම් කරගනිමින් ට්‍රම්ප් මෙසේ පවසා තිබේ.
මෙම රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඇමෙරිකාව තුළ ඉහළ මට්ටමේ පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇත.
කෙසේ වෙතත්, රුසියානු රජය මෙන්ම, ජනපති පූටීන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඔවුන් කිසිදු අයුරකින් ඇමෙරිකානු ජනාධිපතිවරණයට අතපෙවීමක් සිදු නොකළ බව කියයි.
වොෂිංටන් පෝස්ට් ලිපියට අනුව පසුගිය අගෝස්තු මාසයේදී රුසියානු රජය සමග දැඩි සබඳතා පවතින පාර්ශ්ව විසින් හිටපු ජනපති බරැක් ඔබාමාට මේ පිළිබඳ තොරතුරු ලැබී ඇත. එහිදී, සයිබර් අවකාශයේ මැතිවරණයට බලපෑමක් කරමින් හිලරි ක්ලින්ටන්ගේ මැතිවරණයට හානියක් කිරීමටත්, ට්‍රම්ප් වෙත ජයග්‍රහණය ලබාදීමටත් රුසියානු ජනපති පූටින් සෘජු මැදිහත් වීමක් ඇති බවද එහි සඳහන්ව ඇති බව කියැවේ.
එහිදී, මෙම අවස්ථාවේදී බරැක් ඔබාමා මීට නිසි ප්‍රතිචාරයක් නොදක්වා සිට ඇති බවත්, ඔහු මෙම සයිබර් අවකාශයේ රුසියානු අතපෙවීමට එරෙහිව ඇමෙරිකානු අවි ඔසවා නැති බවත් වොෂිංටන් පොස්ට් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.