අහිංසක ඩොල්ෆින් මාළුවෙකුට බියර් පොවන්න හැදූ තිරිසනුන්


බොන්න කිව්වොත් මිනිස් සතාට ඊට වඩා දෙයක් නෑ. මොකද බීම තමයි ගොඩක් අයගේ (හැමෝගෙම නෙමෙයි) ජීවිතේ. ඒත් මේ බීම මිනිස් සතාට විතරක් සීමා නොකර, අහිංසක තිරිසන් සතෙකුටත් කළ තිරිසන් ක්‍රියාවක් පිළිබඳව පේරූ හි සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානවල දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

මේ ඡායාරූප ෆේස්බුක් අඩවිය හරහා ප්‍රසිද්ධ වූ ඡායාරූප බවයි කියවෙන්නේ. තරුණයන් දෙදෙනෙකු හා තරුණියක වෙරළට ගසාගෙන ආ රෝගී ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ කටට බියර් වත්කරන ඡායාරූප කිහිපයක් මහත් උජාරුවෙන් ඔවුන් අන්තර්ජාලයට එකතු කර තිබුණා.

මේ තරුණයන් දෙදෙනාට බීම තමන්ගේ සුර ලෝකය වුවත්, ඔවුන් සමග සිටින ගැහැණියට මේ බේබද්දන් වීරයන් වුවත් සොබාදහමට ලැදි, මනුෂ්‍යත්වයට ලැදි කිසිවෙකුට මොවුන් කිසිවෙකුත් වීරයන් නොවන බව පැහැදිලියි.

පේරූ රාජ්‍යයේ බ්ලූ ප්ලැනට් ඔර්ගනයිසේෂන් නමැති සත්ව අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරන්නන් මොවුන් හඳුනාගැනීම වෙනුවෙන් වෙනමම ෆේස්බුක් පිටුවක් විවෘත කරමින් මීට එරෙහිව සටනක් අරඹා තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මිනිසුන් ලෙස තිරිසන් සතුටක් බුක්ති විඳීමට ඔබ සූදානම් වෙනවා නම්, එය තමන්ට පමණක් සීමා කරගෙන අහිංසක ජීවින් ඊට ඈඳා නොගන්නා ලෙසයි.

එය මේ ඡායාරූපවල සිටින තරුණයන්ට මෙන්ම, මෙවැනි තකතීරු වැඩ කරන හා කිරීමට සිතන සැමට පොදු බව අපත් කියන්න කැමතියි.



Recommended Articles