කළු ජාතික තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් මියයෑමේ සිදුවීම අරඹයා ඇමරිකාවේ මිසූරි ප්‍රාන්තයේ උද්ඝෝෂණයේ යෙදී සිටින පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමත් සමග ඇති වූ ප්‍රචණ්ඩකාරී වාතාවරණය පාලනය කිරීම සඳහා එම ප්‍රාන්තය තුළ පොලිස් ඇඳිරි නීතිය පවා යොදවා තිබූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එහිදී, ඇඳිරි නීතිය පවා නොතකා සිය ගණනක් වූ උද්ඝෝෂකයෝ කළු ජාතික තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර, එහිදී, එල්ල කෙරුණු වෙඩි පහරකින් තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත්, එම වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න මේ වනතුරු අනාවරණය වී නොමැති අතර, පොලිස් අණ නොතකා වීදි බැස සිටි පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
උද්ඝෝෂණවලට හේතුවූ වෙඩි පහරින් මරා දැමුණු කළු ජාතික තරුණයා වෙළෙඳ සැලක් මංකොල්ලකෑමේ යෙදී සිටින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වී ඇති බව මිසූරි ප්‍රාන්ත පොලීසිය පැවසුවත්, කළු ජාතිකයන්ට එරෙහිව ඇමෙරිකාව තුළ තවමත් වර්ණභේදවාදය ඔඩුදුවනට බවට විවේචන පවතී.