අප්‍රිකානු රටවල් අසූචි වළක් ලෙස හැඳින් වූයේ නෑ - ට්‍රම්ප්


හයිටි රාජ්‍ය, එල් සැල්වදෝරය සහ අප්‍රිකානු රටවල් පිළිබඳ විස්තර කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අශ්ලීල භාෂාවක් යොදාගත් බවට නැගෙන චෝදනා ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් එක්සත් ජනපද සංක්‍රමණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඉහත කී රටවල් 'අසූචි වළක්' (shithole) ලෙස හඳුන්වා ඇති බවත්, එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමාවගත යුතු බවත් අප්‍රිකානු සංගමය පවසයි.

මෙය සනාථ කිරීමට ඩිමොක්‍රටික් සෙනට් සභික ඩික් සර්බින්ද අදහස් දක්වා ඇති අතර, ජනාධිපතිවරයා විසින් ඇතැම් අප්‍රිකානු රටවල් 'අසූචි වළවල්' ලෙස හැඳින්වූ බව ඔහු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකළේ යැයි පැවසෙන එම ප්‍රකාශය පිළිබඳ විවිධ අදහස් මතු වුවද, තම සාකච්ඡාව අතරවාරයේ භාවිත කළ භාෂාව පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ 'තමන් තදින් වචන භාවිත කළත්, ඉහත කී ආකාරයේ භාෂාවක් එම අවස්ථාවේදී යොදා නොගත්' බවයි.



Recommended Articles