අප්‍රිකානු මහද්වීපයට අඩු මිලට ස්මාට්ෆෝන්


වැඩි දෙනෙකුට මිලදී ගැනීමට හැකිවන ලෙස ඇ.ඩො. 30කට මිලදී ගත හැකි ස්මාට්ෆෝන් එකක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය ඇරඹීමට දකුණු අප්‍රිකාව සැරසෙයි.

මෙවැනි අඩු මිල ස්මාට්ෆෝන් එකක් අප්‍රිකානු කලාපයේදී නිෂ්පාදනය වන ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එහි නිෂ්පාදන කටයුතු ලබන මසදී ඇරඹීමට නියමිතය.

ජොහැන්නර්ස්බර්ග් නගරය කේන්ද්‍ර කරගත් ඔනික්ස් කනෙක්ට් අඟල් 4ක තිරයකින් යුතු මෙම ස්මාට්ෆෝන් එක නිස්පාදනය කරන අතර, එය ඉදිරිපස හා පසුපස කැමරාවකින්ද යුතු බව කියයි. එහිදී, 1GB RAM, 8GB ROM, 1.3GHz quad core ප්‍රොසෙසරය මෙන්ම, නවතම Android 7 Nougat මෙහෙයුම් පද්ධතියෙන්ද මෙය බලගැන්වෙනු ඇත.

සාමාන්‍යයෙන් අඩු මිලට පැමිණෙන ස්මාට්ෆෝන්වල නිෂ්පාදකයන් විසින්ම පිහිටවූ ඇප් වැඩසටහන් රැසක් දක්නට ලැබෙන අතර, දුරකථනයේ මතක ධාරිතාවයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා වැයවීම දැකිය හැකිය.

නමුත්, මෙම ජංගම දුරකථනයේදී පාරිභෝගිකයාගේ කැමැත්ත පරිදි ඇප් වැඩසටහන් ඩවුන්ලෝඩ් කරගැනීමට සහ ඒවායෙන් ඉවත්වීමට අවකාශය සලසා ඇති බවද මෙහි නිෂ්පාදකයෝ පවසති. එමෙන්ම, අප්‍රිකානු භාෂා කිහිපයකද ඇප් වැඩසටහන්ද මෙහි අන්තර්ගත කර ඇති නිසා මෙය අප්‍රිකානු කලාපය තුළම වේගයෙන් ජනප්‍රිය වනු ඇති බවද ඔවුහු පවසති.



Recommended Articles