අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් තමයි ගැටලුව - ට්‍රම්ප්


කැප්ටන් ඛාන් ඇමෙරිකානු ජනතාවට වීරයෙකු බවට විවාදයක් නොමැති බවත්, තමා කතා කරන්නේ ඛාන්ගේ ජීවිතය උදුරාගත්, තවදුරටත් හානි ගෙනදෙන අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් ගැන බවත් ඇමෙරිකානු ජනපති සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

පසුගියදා නිමාවට දුටු ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී අදහස් දක්වමින් ඇමෙරිකානු ජාතික මුස්ලිම් පියෙකු වන ඛිසර් ඛාන් තමාගේ පුතා ඉරාක යුද්ධයේදී රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව පාලනය කළේ නම් තම පුතාට ඇමෙරිකානුවෙක් වීමට අවස්ථාව නොලැබෙන බවත් පවසමින් සිදුකළ කතාවට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ පවසා ඇත.

එමෙන්ම, පක්ෂ සම්මේලන කතාවේදී ඛිසර් ඛාන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව වෙනුවෙන් ට්‍රම්ප් කිසිදු පරිත්‍යාගයක් සිදුකර නොමැති බවය.

ඊට ප්‍රතිචාර දක්වා ඇති ට්‍රම්ප් පවසන්නේ, ඉරාක යුද්ධයේදී මියගිය කැප්ටන් හියුමයුන් ඛාන් ඇමෙරිකාවට වීරයෙකු බවට විවාදයක් නොමැති බවය. ඔහු රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සිදුකළ කැප කිරීමට ඔහුට හිමිවිය යුතු සියලු ගෞරවය හිමිවිය යුතු බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නමුත්, සැබෑම අර්බුදය නම් ඔහුව ඉරාකයේදී ඝාතනය කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් බවත්, එකී අන්තවාදීන් තවදුරටත් රටට ඇතුළු වීම වැළැක්වමින්, ඔවුන්ගෙන් සිදුවිය හැකි හානිය වැළැක්වීම තමාගේ ව්‍යායාමය බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියි.

එමෙන්ම, තමන් රට වෙනුවෙන් රැකියා දහස් ගණනක් බිහිකරමින් බොහෝ කැපවීම් කර ඇති බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටී.



Recommended Articles