අතුරුදන් යානය ගැන චීන හා ඇමෙරිකානු වාර්තා බොරුලු


අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් යැයි සැක කරමින් නිකුත්කළ චීන චන්ද්‍රිකා ඡයාරූප වැරදීමකින් නිකුත් කළ ඒවා බවත්, රේඩියෝ සංඥා ගිලිහී යාමෙන් පසුවත් යානය පැය හතරකට වැඩි කාලයක් ගමන් කර ඇති බවට පැවසෙන ඇමෙරිකානු වාර්තා පිළිගත නොහැකි බවත් මැලේසියාවේ ගමනා ගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් පවසයි.

ඔහු තවදුරටත් කියා සිටියේ චීනය චන්ද්‍රිකා ඡයාරූප නිකුත් කළේ අත්වැරදීමකින් බව ක්වාලාලම්පූර් හි චීන තානාපති කාර්යාලය පිළිගත් බවය. එමෙන්ම, අදාළ ඡයාරූපවල අතුරුදන් වූ යානයට අයත් කිසිවක් පෙන්නුම් නොකරන බවද හෙතෙම අවධාරණය කර තිබේ.

පුද්ගලයන් 239 දෙනෙකු සමග මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 දරණ බෝයිං 777 යානය ක්වාලාලම්පූර් සිට බෙයිජිං නුවර බලා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූයේ පසුගිය සෙනසුරාදාය.

මේ වනවිට යානය සෙවීම සඳහා යොදවා ඇති ගුවන්යානා සහ නෞකා ප්‍රමාණයද වැඩි කර ඇති අතර,  නෞකා 43 ක් සහ ගුවන් යානා 40 ක් එකී මෙහෙයුම්වල නොනවත්වාම යෙදෙයි.

අතුරුදන් වූ මැලේසියානු යානයේ සුන්බුන් යැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඔස්සේ සිදුකළ නිරීක්ෂණයන්හිදී කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව මීට පෙර වාර්තා විය.

කෙසේ වෙතත්, යානය අවසන් වරට සලකුණු වූ ස්ථානයේ සිට පැය හතරකට වැඩි කාලයක් ගමන් කර ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු සොයා ගනිමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේය. මේ තත්ත්වය තුළ යානය කිසිවෙකු බලෙන් ග්‍රහණය කරගැනීමේ සැකයද මතු කළේය.

 



Recommended Articles