සිව්වසරට සම්මාන 40ක් දිනූ රවීන්ද්‍ර


ඔහු පෙනුමින් තරුණයෙකු වුවද අතිශය පරිණත සහ සම්මානිත ඡායාරූප ශිල්පියෙකි. ඔහු අප හා කතාබහකට එක්වන්නේ ඔහු වෙනුවෙන් වියට්නාමයෙන් සිදුකරන ඔහුගේ සේයාරූ දැක්ම නිසාවෙයි. ඒ හරහා පුද්ගලයෙකු ලෙස ඔහු ලබන ඇගයීමත්, සේයාරූ දැක්ම තුළ ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යය පැතිරයාමත් යන සියලු කාරණා අප රටට කීර්තියක් වීමම ඔහු හා කෙරෙන මෙම කතාබහේ මූලික කාරණාවක් වෙනවා.

ඔබ

මගේ නම රවීන්ද්‍ර රණසිංහ. මාව බොහෝ විට ආමන්ත්‍රණය කිරීම සිදුවන්නේ රවී නමින්. මම රැකියාව කරන්නේ ඩයලොග් ටෙලිකොම් ආයතනයේ. මම වියට්නාමයේ පැවැති ඡායාරූප තරගයකින් FIAP රන් සම්මානය සහ ලෝකඩ පදක්කමකුත් ජයග්‍රහණය  කිරීම සමග  එරටින් මට ආරාධනා ලැබෙනවා මගේ සේයාරූ දැක්මක් වියට්නාමයේ පවත්වන්නට. එය පසුගියදා සාර්ථකව නිමාවට පත්වුණා.

Are-you-coming

සේයාරූ දැක්ම

මම එය  නම් කළේ VISION BEYOND THE FRAME නමිනුයි. එය සැප්තැම්බර් මස 9,10,11 තෙදින තුළ වියට්නාමයේදී පැවැත්වුණා. ඊට සමගාමීව ඔවුන් මට සති තුනක කාලයක් වියට්නාමයේ සංචාරය කිරීමේ අවස්ථාවද ලබාදුන්නා. ඒ වියට්නාමය මම දකින්නේ කෙලෙසද යන්න ඔවුන්ට දැනගන්නටයි. 
බොහෝදෙනෙක් හිතන්නේ ලස්සන පින්තූර තියෙන්නේ ඉන්දියාවේ සහ වියට්නාමයේ කියායි. මට ඕන වුණේ එය වෙනස් කරන්නටයි.

PT1_Blue

සම්මාන සහ ඇගැයීම්

මේ වෙනකොට මම ජාත්‍යන්තර සම්මාන 40ක් දිනා තිබෙනවා. රටවල් 36ක තරගවලට සහභාගී වෙලා තියෙනවා. ඒ අතුරින් මගේ සේයාරූ දෙසීයකට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනවලට තබා තිබෙනවා. ලංකාවේ තිබෙන ප්‍රධානම තරගවලත් මම රන් සහ රිදී සම්මාන දිනා තිබෙනවා. මම ආර්ට් ෆොටෝග්‍රැෆි කියන දේට ඇවිල්ලා තවමත් වසර හතක් පමණක් වීම එහිදී වැදගත් කරුණක්. 

PT1_Between-Paintings

සුලභ ෆොටෝග්‍රැෆි තුළ තරගයක්

දැන් බලනකොට හැමෝම ෆොටෝග්‍රැෆර්ස්ලා. සැලකිය යුතු ගුණාත්මක මට්ටමේ කැමරාවක් ජංගම දුරකථනය සමග පැමිණි පසු බොහෝදෙනෙකු එම මට්ටමට පත්ව තිබෙනවා. නමුත් ඒක ඊළඟ මට්ටමකට ගෙනයෑම තමයි තරගයකදී බලපාන්නේ. මම බොහෝවිට ජාත්‍යන්තර තරගවලට සහභාගී වුණේ එක අරමුණක් ඇතිවයි. ඒ මම ඒවාට බැඳුනහම මට ලැබුණු කුඩා පොත් පිංචවල් නිසායි. ඒවායේ ඒ ඒ රටවල ප්‍රධාන ඡායාරූප ශිල්පීන් පිළිබඳවත්, ඒ ඒ රටවල ඡායාරූපකරණයේ නව ප්‍රවණතා පිළිබඳවත්  සඳහන් වුණා. මම සේයාරූ පසු සංස්කරණ ශිල්පය පිළිබඳවත් ඉගෙන ගත්තා. ඒ වගේම මම ලයනල් වෙන්ඩ්ට්  හි පණ්ඩුක ද සිල්වා මහතා යටතේ ඡායාරූපකරණය ඉගෙන ගත්තා.  

මම 2009 දී හොඳම ආධුනික ඡායාරූප ශිල්පියා වෙනුවෙන් රන් සම්මානය දිනද්දී ඡායාරූපකරණයේ කිසිවක් දැනසිටියේ නැහැ. අතුල රණරාජා මහත්මයා මගේ ඡායාරූපයක් දැකලා, මට ෆෝම් එකකුත් දීලා “මේක තරගයකට දාන්නේ නැත්තේ ඇයි?* කියලා අහපු තැනින් තමයි මගේ ජයග්‍රහණයන් සියල්ල පටන් ගත්තේ. ඉන් පස්සේ තමයි මම ඡායාරූපකරණය ඉගෙනගෙන ජයග්‍රහණයනුත් ලබලා පළමුවතාවට ජාත්‍යන්තරයෙන් මා වෙනුවෙන් සේයාරූ දැක්මක් සංවිධානය වුණේ. මින් පෙර මගේ සේයාරූ ජාත්‍යන්තර තරගවල ප්‍රදර්ශනය කෙරුණත් මං වෙනුවෙන් රටක් මැදිහත්ව සේයාරූ දැක්මක් සංවිධානය කර තිබුණේ නෑ. මගේ සතුට  තියෙන්නේ ඒවා මං වෙනුවෙන් සංවිධානය  වන අතරම මට ඒ සේයාරූ දැක්ම  හරහා ලංකාවේ අලංකාරය පෙන්වන්නට හැකිවීමයි. 

OM2_Eyes-through-the-glass

කලා සේයාරූ ශිල්පියෙකු රැකෙන්නට නම් 

ආර්ට් ෆෝටෝග්‍රැෆි කරලා ලංකාවේ රැකෙන්න බෑ. අපි මේ දේවල් කරන්නේ අතේ සල්ලි වියදම් කරගෙන. ඔලිම්පික් වේවා, ක්‍රීඩා කටයුත්තකට ගිය මනුස්සයෙක් එය ජයග්‍රහණය කළොත් එයට රාජ්‍ය අනුග්‍රහය සහ මාධ්‍ය අනුග්‍රහය නොඅඩුව ලැබෙනවා. ඒත් ඡායාරූප ශිල්පියෙකුට ඒ තත්ත්වය නෑ. තමන්ගේ වියදමෙන් උපකරණ අරගෙන, තමන්ගේ වියදමෙන් තරග ගාස්තුව බැඳලා, තමන්ගේ වියදමෙන් අමතර අවශ්‍යතාත් සපුරාගෙන සම්මාන දිනලා රටට කීර්තියක් ගෙනැල්ලා කිසිම ඇගයීමක්, අනුග්‍රහයක් නැතිව බලාගෙන ඉන්නයි ඡායාරූප ශිල්පීන්ට සිද්ධවෙලා තියෙන්නේ. 

ලංකාවේ වැඩිම ජාත්‍යන්තර සම්මාන දිනපු ශිල්පියා වෙන්නේ හෙන්රි රාජකරුණා ගුරුතුමායි. ලෝකේ එවැනි දස්කම් කළ එකසිය ගණනකින් එක් අයෙකු ලෙස ඔහුව හැඳින්විය හැකියි. ඔහු මාස්ටර් ෆොටෝග්‍රැෆර් නාමය ලැබුණ කෙනෙක්. නමුත් ඔහුව දන්නේ කීයෙන් කීදෙනාද? එයත් එයාගේ වියදමෙන් තමයි ඒ ටික කරගත්තේ. ෆේස්බුක් එකට දැම්මොත් තමයි ටිකදෙනෙක් හරි දැනගන්නේ. මම පළවෙනි සේයාරූ දැක්ම කළේ ලංකාවේදීයි. මම අත්දැක්කා එයට මම නොදන්නා පිරිසකුත් පැමිණි බව. ඒ නිසා මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකාගාරයක් ආර්ට් ෆොටෝග්‍රැෆිවලට අහිමියි කියලා. 

Home-sweet-Home

කාර්යබහුලත්වය

රැකියාවක් කරන ගමන් මෙවන් විනෝදාංශයක් කරගෙන යන්නට හොඳ කාල කළමනාකරණයක් තිබිය යුතුයි. මම වැඩකරන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම සමාගමකයි. උදේ 8ට පුටුවක වාඩිවුණොත් මම පුටුවෙන් නැගිටින වෙලාව නිශ්චිතව කියන්නට බැහැ. ඒත් විවේකී දවස් මම රැකියාවට කැප නොකර ඒවා ඡායාරූපකරණය වෙනුවෙන් යොදාගන්නවා. පවුල සමග ගත කරන්නත් මම වෙලාවක් වෙන්කරගන්නවා.

Great-Expectations

ස්තුතිය

පණ්ඩුක ද සිල්වා ගුරුතුමාට, හෙන්රි රාජකරුණා ගුරුතුමාට, මහින්ද ජීවානන්ද සහ චන්ද්‍ර‘සේන පෙරේරා යන ගුරුවරුන්ට, බන්දු ගුණරත්න, අතුල රණරාජා යන ගුරුවරුන්ටත් මා පසුපසින් සිටියාට ස්තුතිවන්ත වෙනවා. වියට්නාමයේ තානාපති  අසන්ති දිසානායකට සහ වියට්නාම ඡායාරූප සමාජයට ස්තුතිවන්ත වෙනවා. ඊට අමතරව සමාජජාල අඩවිවල මගේ හිතවතුන්ට, කාර්යාලයීය සගයන්ට සහ පවුලේ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා.

    OM4_Torn-hopes   PT1_Hooked-on-fishing PT1_Street-tailor The-Journey The-smiling-window Vanila-Sky Writer

 



Recommended Articles