Q ප්‍රවීණ රංගධර හා සිනමා අධ්‍යක්ෂ සනත් ගුණතිලකයන්ගේ නවතම සිනමා නිර්මාණය වන සිනහව අතරින් මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ EAP මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙමින් පවතී. සමාජයේ අප අත්දකින අත්දැකීමක් පොදු අත්දැකීමක් බවට පත්කකොට ප්‍රේක්ෂක හදවත්වලට කම්පනයක් ඇතිකරවන්නට සමත්වන අයුරින් සිනහව අතරින් සිනමා නිර්මාණය හරහා ප්‍රේක්ෂකයා වෙත සමීප කරන සනත් ගුණතිලකයන් මේ වන විට හදිසි අනතුරකට ලක්ව, සිනමාපටයේ ප්‍රචාරක කටයුතුවලට පවා සම්බන්ධ වීමට නොහැකිව සිටින මොහොතක අපි ඔහු හා සංවාදයක නිරත වීමු.
Q හදිසියේම ඔබට සිදුවූ අනතුර ගැන මුලින්ම කතා කළොත්?
මගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරට ගෙනයාමට ප්‍රචාරක කටයුතු කරන්න වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. ඒ වගේම %අද^ ඇතුළු සියලුම මාධ්‍යවලට මම ස්තුතිවන්ත වෙනවා ඔවුන් දක්වන සුවිශේෂී සත්කාරයට. එය හොඳ සිනමාවක් සඳහා කරන්නාවූ දිරිගැන්වීමක්. කෙසේ නමුත් මෙලෙස ප්‍රචාරක කටයුතුවල නියැළී සිටින අවස්ථාවක වැටිලා කකුල පිපිරීමක් වැනි දෙයකට ලක්වෙලා තිබෙනවා. මේ වෙලාව වනවිට චිත්‍රපටයේ නිෂ්පාදක සුනිල් ටී මහතාත් ලංකාවෙ නැහැ. මේ නිසා කොතරම් අසනීප තත්ත්ව යටතේ වුණත් මෙහි ප්‍රචාරක කටයුතුවලට මට සම්බන්ධ වෙන්න සිදුවෙනවා. ඒ වගේම මට අද පුවත්පත සමග තිබෙන සම්බන්ධතාව කඩකරන්න බැහැ. ඒ නිසා තමයි මොනතරම් අපහසුතාවක හිටියත් මේ සාකච්ඡාවට එකතු වුණේ.
Q සිනහව අතරින් චිත්‍රපටය බුදුදහම සමග යන සිනමා පටයක් වුවත් මෙහි කතාව බුදු දහමට කෙතරම් අදාළද? මොකද පන්සල ළඟින් ආශ්‍රය කරන දෙදෙනෙක් කාමයේ වරදවා හැසිරීම අනුමත කළ හැක්කක්ද? මෙය බුදු දහමේ මූලික රීතීන් බිඳ දැමීමක් නේද?
සිනහව අතරින් තුළ තිබෙන්නේ සිදුවුණා වූ සිදුවීමක්. නමුත් කිසියම් කෙනෙක් යම් වැරැද්දක් සිදුවූ පසු ඒක හදාගන්නවා නම් ඒක වෙනම දෙයක්. මෙතනදි අපි කතා කරන්නෙ ලොල්කම ගැනයි. මේ චිත්‍රපටයේ තිර රචනාව සකස් කිරීමේදී මම ඉතා පරිස්සම් වුණා බුදුන් වදාළ ධර්මයට හෝ බෞද්ධ ශාසනයට කිසියම් නුසුදුසු දෙයක් නොකියවෙන බව තහවුරු කරගන්න. ඒ නිසා මම තිර රචනය ගැන හාමුදුරුවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළා.
බුදුන් වහන්සේත් කියල තියෙනවා පුරුෂයෙකුගෙ හිත ස්ත්‍රියක් පිළිබඳවත්, ස්ත්‍රියකගේ හිත පුරුෂයෙකු සම්බන්ධයෙනුත් බැඳෙනවා කියලා. ධනය වේවා, රත්රන් වේවා, වතුපිටි වේවා වෙන කුමන සැප සම්පත් තිබුණත් ස්ත්‍රියකට පුරුෂයෙකුගේ කටහඬ, ස්වරූපය, සුවඳ, ස්පර්ශය යන ඕනෑම කාරණයක් සම්බන්ධව බැඳීමක් ඇතිවෙන්න පුළුවන්. පුරුෂයෙකුටත් ස්ත්‍රියක් සම්බන්ධව මේ දේ මේ ලෙසටම සිදුවෙනවා. මේක මේ සංසාරයේ අපි රහත්භාවයට පත්වන තෙක්ම සිදුවිය හැකි දෙයක්. නමුත් සිනහව අතරින් චිත්‍රපටය තුළින් මම කතා කරන්නේ සිදුවුණු දේවල් අවබෝධ කරගෙන ජීවත්වීම පිළිබඳවයි. තමා අතින් තම බිරිඳට සිදුවිය යුතු සැලකිල්ල හෝ කාලය මිඩංගු කිරීම අමතක කළ සැමියා තමන් අතින් වැරැද්දක් සිදුවුණා යන්න පිළිගෙන ජීවිතය නැවත වතාවක් ඇය සමග ගත කිරීමට කැමති වෙනවා.
මේක මේ 'මගේ අතින් වරදක් වුණා.. ඔයත් වෙන කෙනෙක් එක්ක ගිහින් ආවා.. දැන් කමක් නැහැ' වැනි කතන්දරයක් නෙවෙයි. අන්න ඒකයි අවබෝධ කරගත යුත්තේ. ඒ වගේම සේමිණී රඟපාන කුමාරිගේ චරිතය ගත්තොත් ඇය ජීවිතයේ ආදරය සොයාගෙන යන, තමන් වෙනුවෙන් වෙලාව මිඩංගු කරන අයෙක් හොයාගෙන යන තැනැත්තියක්. නමුත් 'ඔබට ඕන ආදරය ඔබ කැමති තැනකින් ලබාගන්න' කියලා තමන්ගෙ ආදරය පරිත්‍යාග කරන්න පුළුවන් සැමියෙක් තමන්ට ඉන්නවා කියලා එයා අවබෝධ කරගන්නවා. ආදරය කියන්නෙ පරිත්‍යාග කරන්න තරම් උතුම් දෙයක් කියලා අවබෝධ කරගත් නිසා තමයි ඇය ක්‍රිස් ගාවට ගියේ. නැත්නම් ඇය මා (විමල්) සමගම ජීවත් වේවි.
මම රඟපාන විමල්ගේ චරිතය ගත්තම ඔහු දන්නවා මේ සියලුම දේ තේරුමක් නැති දේවල් බවට පත්වෙනවා කියලා. එ නිසා තමයි ඔහු සියලුදෙනා අතරින් නික්මිලා භික්ෂුත්වය ලබන්නේ. ඒ වගේම විමල් සමග සිටින සේවකයා මුල්කාලයේ උදව් කරගෙන සිටිනවා. පසුව විමල් හාමුදුරු කෙනෙක් බවට පත්වෙලා පන්සල හාමුදුරුවන්ගේ භාරකාරිත්වයට පත්වන බව දැනගත්තම ඔහු වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙනවා. හාමුදුරුවන්ගෙන් පස්සෙ මේ පන්සලේ භාරකාරීත්වයට තමන් පත්වේවි කියන සිතුවිල්ලෙන් ඔහු පසුවෙනවා. ඒ තුළ අන් කිසිවෙක් හාමුදුරුවන් සමග සමීප වනවාට ඔහු කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ තමයි ජීවිතේ වෙනස් වෙන හැටි. සැප සම්පත් හොයාගෙන යන හැටි.
හෂිනි මගේ දුවෙක් බව මුලින් ක්‍රිස් ඇයට හඟවන්න කැමති වෙන්නෙ නැහැ. මොකද ඔහු හිතනවා යළිත් එම බැඳීම් ඇතිවේවි කියලා. නමුත් ඔහු ජීවිතයෙන් සමුගන්න මොහොතේ අර වගේ ලිපියක් ලියලා තියෙන්නෙ ඔහු ජීවිත කාලය පුරා වැරැද්දක් බවට එය පත්නොවීම සඳහායි.
මෙතනදි යම්කිසි වැරැද්දක් කවුරුන් හෝ අතින් සිදුවෙලා තිබුණත් එය තවදුරටත් සිදුකරමින් යන්නෙ නැහැ. බුදුදහමට අනුව වරදක් සිදුවුණත් එය යළි නිවැරදි කරගෙන බුදු දහමේ තිබෙන ධර්මය අගය කිරීමක් බවට පත්කරගෙන තිබෙනවා.
Q සිනහව අතරින් කතා තේමාව අඩුවැඩි වශයෙන් සමාජයේ බොහෝදෙනෙකුට සමීප අත්දැකීමක් බවට වත්මනේ පත්ව තිබුණත් මීට ලැබෙන ප්‍රතිචාර එක්ක 'තමන් කරන වැරැද්ද සිනමාපටයක් තුළින් බලලා තමන් ගැන ස්වයං විවේචනයක් කරන්න අපේ රටේ මිනිස්සු සූදානම්' යැයි ඔබ විශ්වාස කරනවද?
පැහැදිලිවම, මේ සිනමාපටය බලපු බොහෝ අය ඉතා ඉහළ අගයකිරීමක් කරනවා. නමුත් මම විශ්වාස කරන්නෙ නැහැ මේක බලලා ඔවුන් හැදෙයි කියලා. අද සමාජයේ සිදුවන දේවල් බලපුවාම මනුස්සකම කියන එක ඉතා දැඩිව අපෙන් ඉවත්ව යන ආකාරයක් දකින්න තියෙනවා. නමුත් හැමදාම විද්‍යුත් මාධ්‍ය හරහා පිරිත් ඇහෙනවා. මෙවර වෙසක් උලෙළට ධාතු ප්‍රදර්ශන කොතරම් තිබුණද? ඒවට මොනතරම් ජනතාවක් සහභාගි වුණාද? මෙහෙම වඳින එක ඉතා හොඳයි. නමුත් අපට මේ කිසිවකින් මිනිස්සු හදන්න බැහැ.
හැබැයි දිගින් දිගටම මෙවැනි මාතෘකා ගැන කතා කළොත් අපට යම්කිසි මතයක් ගොඩනගන්න පුළුවන් වෙයි. සමහර වෙලාවට මම දන්නවා සැමියයි, බිරිඳයි එකට මෙම සිනමාපටය නරඹලා සැමියා යළි වෙනම නරඹපු අවස්ථාත්, බිරිඳ යළි වෙනම නරඹපු අවස්ථාත් තිබෙනවා. සාරධර්ම, ගුණධර්ම වැපිරිලා තිබුණු භූමියක්, විදේශීය ආක්‍රමණ සමග ගුණධර්ම පිරිහුණු තැනක් බවට පත්වූ පසු මෙවැනි චිත්‍රපටයකින් එය යළි සකස් කළ හැකි යැයි කියන්න අමාරුයි. නමුත් යම් කම්පනයක් ඇති කළ හැකියි. ඒ කම්පනය දැනුණු අය තමයි මට කතා කරන්නේ.
Q මේ වනවිට චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන සහ නිෂ්පාදකවරයාගේ ප්‍රතිචාර ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඇත්තටම සෑහීමකට පත්වෙන්න පුළුවන්. නමුත් පවතින වර්ෂා සහිත කාලගුණයෙන් යම් ආකාරයක බලපෑමක් සිදුවී තිබෙනවා. සිනහව අතරින් නිෂ්පාදනය කළ සුනිල් ටී චිත්‍රපටයක් කරලා ඒක දුවන්න ඕනමයි කියල හිතුවෙ නැතුවට පාඩු ලබන්න කැමති නැති පුද්ගලයෙක්. ඒක මම සක්සුදක් සේ දන්නවා. මගේ 'එකමත් එක රටෙක' චිත්‍රපටය බලලා සුනිල් ටීට අවශ්‍ය වෙනවා ඊට අදාළ කතාවක් කරන්න. මට හිතෙනවා සුනිල් ටී මට තව චිත්‍රපටයක් දෙන්න හදන්නේ මං හිතන දේවල් නිසා නොව ඔහු හිතන දේවල් නිසයි. හැබැයි ඒ ඔහු සිතන දේවල් ආශ්‍රිතව චිත්‍රපටයක් කරන්න මම කැමති වෙන්නෙ නැහැ. මා තුළ තිබෙනවා කතා තේමාවක් 'තරුණියකගෙ අබිරහස් චාරිකාවක්' ගැන. මේක කරන්න සූදානම් වෙන කාලයේ ඔහුගෙ දියණිය වැඩිවියට පැමිනුණා. එවිට ඔහු මට කියනවා මේ චිත්‍රපටය කරන්න එපා කියලා. අපි එය නවත්වනවා. ඊළඟ අවස්ථාවෙ අපි ගායකයෙකු ගැන චිත්‍රපටයක් කරන්න සියලු කටයුතු සූදානම් කරනවා. නමුත් ඔහු ඒ සඳහා වෙන්කරන මුදල ඊට ප්‍රමාණවත් නැති නිසා මම චිත්‍රපටය නතර කරනවා.
හැබැයි ඔහු කියනවා එකක්, 'මට ඔයත් එක්කම චිත්‍රපටයක් කරන්න ඕන. ඒ නිසා අමිතාබ් බච්චන්ගෙ චිත්‍රපටයක් කරමු' කියලා. මං ඒකට කැමතිවෙන්නෙ නැහැ. ඊට පස්සෙ කියනවා ඔයාල කැමති එකක් කරමු කියලා. ඉන්පස්සෙ මම මේ තිරපිටපත අරගෙන ගියාම මේක බලලා කියනවා 'වැඩේ හොඳයි.. හැබැයි මම දන්නෙ නැහැ කොතරම් දුවයිද කියලා'. ඒ අනුව ඔහු කියනවා ඔයා මෙන්න මේ බජට් එක තුළ මේක කරන්න කියලා. මම ඒකට එකඟ වෙලා මාස දෙකක සැලසුමකට පස්සෙ ඔහු කිව්ව බජට් එකටත් වඩා තරමක් අඩුවට චිත්‍රපටය නිර්මාණය කළා. හැබැයි චිත්‍රපටයේ නිර්මාණාත්මක පැත්තෙන් කිසිම අඩුවක් සිදුකළේ නැහැ. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ, කලා අධ්‍යක්ෂ, වේෂනිරූපණ ශිල්පියා, සංස්කාරක ඇතුළු සියලු දෙනා මේ චිත්‍රපටයේ කොටස්කාරයන් බවට පත් කළා. ඒ අනුව චිත්‍රපටය සීමිත දින ගණනක් තුළ අවසන් කරන්න හැකිවුණා. මේ නිසා ඔහු මේ චිත්‍රපටයට වියදම් කළ මුදල තව නොබෝ දිනකින් ආවරණය වෙනවා. ඒ හින්දා තමයි ඔහු බය නැතිව විදේශගත වෙලා ඉන්නෙ.
Q මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත හරහා හැඟීම් ප්‍රකාශ කිරීම මනාලෙස සිදුකරන ආකාරය දැකගත හැකියි. මෙහි අධ්‍යක්ෂවරයා ලෙස මිනිසුන් තුළ කම්පාවක් ඇති කරන ආකාරයට ඒ හැඟීම් ප්‍රකාශනය නළු නිළියන් තුළින් එළියට ගත්තේ කොහොමද?
මේ චිත්‍රපටයේ කතාව මගේ පළමු චිත්‍රපටයේ නිෂ්පාදකයා වූ චමින්ද පෙරේරා මට කියපු කතාවක්. මෙය ප්‍රායෝගිකව ඇත්තට සිදුවන්නේ කැනඩාවේ. මේ නිසා අපි මේ සිනමා පටය මීට වසර දෙකකට පෙර කැනඩාවේ රූගත කරන්න උත්සාහ කළත් එය සිදු කරගත නොහැකිවෙනවා. නමුත් ඒ කාලය තුළ තිර පිටපත විටින් විට සංවර්ධනය කරනවා. මේ හරහා මගේ චරිතය තුළ මම ජීවත්වෙනවා. එහිදී මගේ සැබෑ ජීවිතයේ යම් යම් අත්දැකීම් මම මීට එක්කරල තියෙනවා. හැබැයි මම මෙහි කැමතිම චරිතය රිචඩ්. ඔහු මේ කතාවට අනුව විදේශිකයෙක්. එය මට වෙනස් කරන්න බැහැ. එසේ නොවුණා නම් මම රඟපාන්නෙ රිචඩ්ගේ චරිතය. රිචඩ්ගේ චරිතය මගේ පෞද්ගලික ජීවිතයේ රඟපාල තියෙනවා. ඒ නිසා මට රිච්ඩ්ව මෙහෙයවන්න අමාරු නැහැ.
සේමිණී රඟපාන කුමාරි මම ජීවිත කාලය තුළ දැකල තියෙනවා. මෙන්න මේ චරිතය ගැන ඔවුන්ට කියාදෙන කොට ඔවුන්ගේ මනසේ තැන්පත් කරන කොට බොහොම හෙමින් අවස්ථානුකූලවයි කළේ. ඔවුන් කවදාවත් දර්ශනතලයට ආවේ නැහැ, අද කරන චරිතය මොකක්ද කියලා අහගෙන. ඔවුන් දර්ශනතලයට එන විට දන්නවා අද කෙරෙන්නෙ මොකක්ද කියලා.
ජයනිගෙ චරිතය ගත්තොත් එහි සියුම් හැඟීම් ප්‍රකාශන රාශියක් තියෙනවා. මේ නිසා ඇය මේ චරිතයට අවශ්‍යමයි කියන තැන මම හිටියා. නමුත් ඇයට දින ලබාදීමේ ප්‍රශ්නයක් තිබුණා. එනිසා අවසාන දින දෙකේ ඇය අසනීප තත්ත්වයක් තිබියදී තමයි රූගත කිරීම්වලට ගෙන්වාගත්තේ. හැබැයි එහි ප්‍රතිඵල තියෙනවා. චරිතයට අනුව ඇය කුමාරිට උදව්කරන්න කැමතියි. ඒ නිසා ඇය මේ පවුල නැවත එක් කිරීමට උත්සාහ කරනවා. නමුත් මේ සියල්ල අතරේ ඇගේ යටි හිතේ විමල් ගැන ඇල්මක් තියෙනවා. මේ ඇල්ම දැනගත්ත ගමන් කුමාරි ඉක්මන් වෙනවා.
මෙන්න මෙතනදි යළි මම ඔබේ මුල් ප්‍රශ්නයට පිළිතුරක් ලෙස කියන්නෙ මෙය කිසිදු මොහොතක කාමය මුල්කරගෙන ගිය හැඟීමක් නොවේ. මේක ජන සමාජයේ මිනිස්සු හැසිරෙන විදිහ. මේ සමාජයේදී ඔබට මට මේ දේවල් සිදුවිය හැකියි.
Q ඔබ මෙහිදී යම් අවස්ථාවල විරාගයේ 'අරවින්ද' වෙන්න උත්සාහ කරනවා නේද?
ඔබ එහෙම කියනවා නම් මම සතුටු වෙනවා. විරාගයෙන් පස්සෙ මම චරිත රැසක් කළා. නමුත් විරාගයම ඔළුවෙ මැවෙන්නේ විරාගයේ තිබෙන සාරධර්ම ගුණධර්මවලින් යුත් පුද්ගලයන් බවට ඔබටත් මටත් පත්වෙන්න බැහැ. නමුත් මීට ඉහත පරම්පරාවල අරවින්දව හරියට අගය කළ අය ඉන්නවා. ඒ ජානවලින් තමයි අපි ඇවිත් තිබෙන්නේ. ඒ තුළ අපි ඒ චරිතයට ලොල් වෙනවා. අපි කොයිවෙලේවත් කියන්නෙ නැහැනෙ. 'මේ යකා සරෝජිනී අඬගහපු වෙලේවත් නොගිය එකානේ* කියලා. මට මෑතකදි අවුරුදු 25 තරුණියක් කියනවා 'සරෝජනී අඬගැහුවම නොගියට මට ඔයාට ගහන්න හිතුණා' කියලා. කොහොම වුණත් ගුණධර්මවලින් යුතු චරිතයක් දැක්කම ඔබට ගුණධර්ම මතක් වීම පුදුමයක් නොවේ. මම මේකෙදි විරාගයේ කිසිම අනුකරණයක් කළේ නැහැ. නමුත් විරාගය තුළින් ලබාගත්ත යම් ශික්ෂණයක් තිබුණා නම් ඒ ශික්ෂණය මේකට පාවිච්චි කළා.
Q මේ චිත්‍රපටය සීමිත බජට් එකක් ඇතුළෙ නිර්මාණය කරන්න සිදුකරන්න වුණ බව ඔබ පැවසුවා. නමුත් චිත්‍රපටයක් දුවවන්න අධික ප්‍රචාරක වියදමක් දැරිය යුතු සමයක ඔය බජට් එකත් එක්ක ඔබ මේ ගැටලුවට මුහුණදෙන්නෙ කොහොමද?
ඔබේ සහෝදර පුවත්පතකට මම මෙහෙම කතාවක් කිව්වා. 'මට මතක් වෙන්නෙ රිචඩ්ද සොයිසගෙ අම්මගෙ කතාව. රිචඩ්ද සොයිසගෙ අම්ම කියනවා 'මම වාසනාවන්ත අම්ම කෙනෙක්. මොකද මගේ පුතාගෙ මිනිය මම දැක්කා. ගොඩක් අම්මලා ඉන්නවා පුතාගෙ මිනියවත් දැක්කෙ නැති' යනුවෙන්. මම වාසනාවන්ත අධ්‍යක්ෂවරයෙක්. මගේ චිත්‍රපටය තිරගත වුණා' අන්න එවැනි තැනකයි මම ඉන්නෙ.
මම කිසිම දෙයක් හෑල්ලුවට ලක්කරන්නෙ නැහැ. විශාල පිරිවැයක් දරලා චිත්‍රපට කරපු නිෂ්පාදකයන්ගෙ තත්ත්වය අද හොයල බලන්න. මම විශාල පිරිවැයක් දරලා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට කිසිම දොසක් කියන්නෙ නැහැ. අද පිරිවැය කවර් කරගන්න බැරිවෙලා තියෙනවා. තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න කැමැත්තෙන් ඉන්න නිෂ්පාදකයෙක් කියන්නේ මෙතන විශාල අර්බුදයක් තිබෙනවා.
මේ තත්ත්වය තුළ ඉදිරියේදී ඔබ මාව හමුවෙයි තිස්ස අබේසේකරයන් ගැන ලිපියක් ලියාගන්න. වත්මන් දේශපාලනය ගැන සාකච්ඡාවක් කරන්න. නමුත් මේ යන විදියට සිනමාව ගැන කතා කරන්න හමුවෙයිද? කියන ගැටලුව තියෙනවා. පසුගිය කාලය තුළ මා විසින් ගොඩනගාගත් මිතුරුකම් හරවත්ව පවත්වාගත් නිසා මට හොඳ ප්‍රචාරයක් ලැබේවි. එසේ නැතිව ප්‍රචාරයට වියදම් කරන්න ගියා නම් කවදාවත් ගොඩ එන්න බැහැ. හරිම ඛේදවාචක තැනක අපි ඉන්නේ.
වර්තමානයේ මම කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවී ඉන්න අයෙක්. නමුත් සමහර කලාකරුවන් දේශපාලනයට සම්බන්ධවෙලා ඉතා අන්තවලට ගොස් සිටින අයුරු දැකිය හැකියි. ඒ කොහොම වෙතත් මේ වනවිට විශාල ප්‍රශ්න කිහිපයක් විසඳාගැනීමටනේ ආණ්ඩුව උත්සාහ කරන්නෙ, විසි වැනි සංශෝධනය, ළඟ එන මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණ මෛත්‍රී මහින්ද හමුව ආදී වශයෙන්. මෙවන් පසුබිමක සිනමා කර්මාන්තය තියෙන්නේ 100 වැනි ප්‍රශ්නයටත් එහායින්. මේ වෙලාවේ සිනමා කර්මාන්තය ගැන කතා කරන්න යන මිනිහත් විහිළුවක් වෙනවා.
හැබැයි කොයි කාලෙදිද අපි මේ ප්‍රශ්නෙ ගැන කතා කරන්නේ? දැන් කතා කළොත් පොඩ්ඩක් ඉන්න කියයි. ඒ ගැන ඒ අයට දොසක් කියන්න බැහැ. මම මේ දොස් කියනවා නෙමෙයි. මගේ කකුල කැඩිල තිබියදී ඔබ සාකච්ඡාවට ආවම මම වෙන දවසක එන්න කියනවා. හැබැයි ඒ වෙන දවස කවදද කියන එක තමයි ගැටලුව වැනි තත්ත්වයකුයි දැන් මෙතැන තියෙන්නේ.
Q සිනමාව තුළ දශක ගණනක් නිරත වූ ඔබ දකින ප්‍රායෝගික විසඳුම කුමක්ද සිනමා කර්මාන්තයේ ගැටලු විසඳීමට?
සියලු දෙනාටම ප්‍රශ්න තියෙනවා. නමුත් මෙහිදී කළ යුත්තේ සියලු දෙනාම එක්වෙලා වැඩිදෙනෙකුට හරියන විදිහේ ප්‍රතිපත්තියක් සම්මත කරගැනීමයි. හැබැයි ඒ ප්‍රතිපත්තිය රජය විසින් වහාම ක්‍රියාත්මක කළයුතු වෙනවා. අනිත් අතට ඩිජිටල්කරණයට සිනමා ශාලාවෙන් පෞද්ගලිකව සල්ලි දමන්නෙ නැහැ. ඒකට සුවිශේෂී අරමුදලක් මගින් මුදල් ගෙවා එය නැවත අය කරගැනීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. අවශ්‍ය නම් ඒ ක්‍රමවේදය කුමක් වියයුතුද කියලත් පැහැදිලි කිරීමක් මට කළ හැකියි. මේ නිසා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට විසඳුමක් ලෙස අදාළ බලධාරියෙක් පත්කර මීට සම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.
මම යම්කිසි වකවානුවක චන්ද්‍රිකා මැතිනිය සමග වැඩ කළා. ඒ වකවානුවේ එතුමියගේ දේශපාලන මතවාදය කුමක් වුවත්, එතුමියට ජනවාර්ගික ප්‍රශ්නය යම් සාම ව්‍යාපාරයක් හරහා නවත්වන්න එතුමියට ඕන වෙලා තිබුණා. නමුත් යුද්ධය බිහිසුණුව නැගී එන විට ඊට පෙරළා සටන් කරන්න කියලා අණදෙන්නත් සිදු වුණා. ඒ අවස්ථාවල සිනමාව ගැන අහන්න ගිහින් එතුමියගෙන් හොඳට අහගත්ත වෙලාවලුත් තියෙනවා.
හැබැයි එතුමියට සිනමාව නංවන්න විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා එතුමිය 2000 දී හැදුවා චක්‍රලේඛයක්. ඒක හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. කෙසේ නමුත් එතුමියගේ සැමියා වූ ජනකාන්ත සිනමා නළු විජය කුමාරතුංගට කරන විශේෂ ගෞරවයක් ලෙස ඒ චක්‍ර‘ලේඛය යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙතැනදි 'මම කරන්න ඕන දේ මොනවද කියලා මට කියන්න එන්න එපා' කියන චෝදනාව එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඒ චෝදනාව 'අද' පුවත්පතට එල්ල නොවී මට එල්ලවුණාට කමක් නැහැ.