මෝටර් බයිසිකලයේ නැගී රවුමක් යන්න


ජාතික සහ ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය අද (26දා) සිට දිවයින පුරා සිනමාහල් රැසක තිරගත වීමට නියමිතය. ඒ පිළිබඳ මේ කතාබහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශමීර රංගන නාඔටුන්න සමගිනි.

මෝටර් බයිසිකල් චාරිකාව

අද සිට ලංකාවේ සිනමා ශාලා 40 ක මෝටර් බයිසිකල් සිනමාපටය තිරගත වෙනවා. එය ජාතික චිත්‍රපට සංස්ථාවේ රිද්මා මණ්ඩලයේ සහ සී.ඊ.එල් මණ්ඩලයේ තිබෙන සිනමා මණ්ඩලවල තමයි තිරගත වෙන්නෙ. මෙය මගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය. නවක නිෂ්පාදකවරයෙකු සමග සම්බන්ධ වී එළි දකින්නෙ ප්‍රථම වතාවට. එනිසා මම ලාංකීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මෝටර් බයිසිකල් චිත්‍රපටය කියන්නේ කුමක්ද හා එහි වෙනස අවබෝධ කරගන්න ළඟම තිබෙන සිනමා ශාලාවට එන ලෙස.

හැදෙන කාලය සහ පසුබිම

මේ චිත්‍රපටය නිර්මාණය කර වසර තුනක් පමණ වෙනවා. 2014 දි වගේ තමයි මම චිත්‍රපටය හදන්නෙ. මේ චිත්‍රපටයෙදි කතාකරන්නෙ නාගරික තරුණයෙක්ගේ ජීවිතය හා ඔහුගේ සිහින ගැනයි. එය ගැටගැහිල තියෙන්නෙ මෝටර් බයිසිකලයක් එක්ක. මේ තරුණයා ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස රාත්‍රී සමාජ ශාලාවල ගිටාර් වාදනය කරනවා. එමෙන්ම ඔහුට හීනයක් තිබෙනවා කවදහරි දවසක ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක් වෙන්න. එමෙන්ම ඔහු ආසයි මෝටර් බයිසිකලයකට. ඔහුගේ ජීවිතය පුරාම මෝටර් බයිසිකලයක අවශ්‍යතාව දැනෙනවා.

ඔහුට ස්ථිර රැකියාවක් නැති නිසා එය මිලදී ගන්න හැකියාවක් නෑ. තමන්ගේ ලෑලි කාමරයේ නවීන පන්නයේ මෝටර් බයිසිකල් පින්තූර අලවා තිබෙනවා. අවසානයේදී ඔහු තමාගේ මවගේ රත්රන් මාලය උකස් කොට පරණ මාදිලියේ මෝටර් බයිසිකලයක් ගන්නවා.ඔහුට තිබෙන ඊළඟ හීනය තමයි තමන් මිලදී ගත්ත බයිසිකලයේ තමන්ගේ පෙම්වතියත් තියන් කොළඹ නගරය පුරා දවසක් ඇවිදින්න යන එක. මේ චාරිකාව තමයි සම්පූර්ණයෙන්ම මෝටර් බයිසිකල් චිත්‍රපටය පුරා දිවෙන්නෙ. මෙය හරි අපූරු කතන්දරයක්. මෙම බයිසිකලය විවිධ චරිත ඔස්සේ විවිධ පුද්ගලයන් වටා තමයි මෙය සිනමා පටය දිවෙන්න. මේ සමාජයේ තිබෙන දේශපාලනික කාරණා ආර්ථික කාරණා රාශියක් යටිපෙළෙන් නිරාවරණය කෙරෙනවා. බොහොම විනෝදාත්මක මෙන්ම පහසුවෙන් රසවිඳින්න පුළුවන් වෙනත් ගැඹුරු පෙළක් තිබෙන සිනමාපටයක්. 

සිනමා පිවිසුම

මම ළමා රංගන ශිල්පියෙක් විදියටයි කලාවට ප්‍රවිෂ්ට වුණේ. වේදිකා නාට්‍ය, චිත්‍රපට, ඒකාංගික ටෙලිනාට්‍යවල සහාය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසත් කටයුතු කළා. මම සිනමාවට එන්නේ දමින්ද මඩවල හරහා දෙවැනි සහාය අධ්‍යක්‍ෂණයෙන්. මම චිත්‍රපට 10ක වගේ වැඩ කළා ඔහු යටතේ. ඒ වගේම ප්‍රසන්න විතානගේ, සෝමරත්න දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්‍ෂවරුන් යටතේ සහාය අධ්‍යක්‍ෂණය කළා.

හිතේ ඇඳි කතාව

මෙය කලක් මගේ හිතේ තිබුණු කතාවක්. එය නිර්මාණයකින් සමාජගත කරන්න මගේ ලොකු ආසාවක් තිබුණා. මගේ ජීවිතේ අත්දැකීම් කිහිපයකුත් මේ චිත්‍රපටයේ තිබෙනවා. මගේ තාත්තා නැතිව අම්මා මාව අමාරුවෙන් රැකගත්තා. මගෙත් මුල් කාලයේ ලොකු හීනයක් තිබුණා මෝටර් බයිසිකලයක් ගන්න.
මෙය රූගත කළෙත් රෙඩ් කැමරාවෙන්. උපරිම ආකාරයෙන් තාක්‍ෂණික ප්‍රයෝගත් චිත්‍රපටයට භාවිත කළා.

දිනූ අන්තර්ජාතික සම්මාන

සම්මාන කිහිපයක්ම ලැබුණා. සාර්ක් අන්තර්ජාතික සිනමා උලෙළේ 2015 වසරේ දකුණු ආසියාවේ හොඳම සිනමාපටයට හිමි සම්මානය මගේ නිර්මාණයට ලැබුණා. කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ මොසැයික් ඔෆ් ශ්‍රී ලංකන් නිව් සිනමා යටතේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් දිනා ගත්තා. ඊට අමතරව හොඳම ශ්‍රී ලාංකේය චිත්‍රපටය සඳහා හිමි නෙක්පැක් සම්මානය හිමි වුණා. 21 වැනි කල්කටා අන්තර්ජාතික සිනමා උලෙළේ ආසියානු තරගකාරී අංශය නියෝජනය කරමින් හොඳම ආසියානු සිනමාපටයටත් මෝටර් බයිසිකල් නිර්දේශ වුණා.

නාගරික සිහින‍

නාගරික තරුණ තරුණියන්ගේ ආදරය, සිහින, බලාපොරොත්තුවලට අවශ්‍ය සමාජ වටපිටාව ඔවුන්ට හදල දෙන්න ඕන. ඒ වෙනුවෙන් සමාජ වටපිටාවක් ගොඩනැඟිය යුතුයි. එය තමයි මම මේ සිනමාපටයෙන් සමාජගත කරන්න උත්සාහ කළේ.

දුර එන්න උදවු කළේ

කුඩා කල ඉඳන් මට හමුවුණ සියලුම ගුරුවරුන්ට, මගේ තාත්තා නැතිව මාව හදල උස් මහත් කළ මගේ අම්මාට, මගේ මාමාට මම හැමදාමත් ණයගැතියි. මෝටර් බයිසිකල් චිත්‍රපටයේ නිෂ්පාදක සුරංග ජයසූරිය නිසයි මෙතෙක් ජයග්‍රහණවලට ළංවෙන්න අපට පුළුවන් වුණේ. ඔහුට මා ගොඩක් ගෞරව කරනවා මා කෙරෙහි විශ්වාසය තැබුවාට. ඒ වගේම මේ චිත්‍රපටයේදී මට උදවු කළ හැමෝටම ගොඩක් ස්තුතියි.

vlcsnap-error259 25 38 42

A002_C025_0318A8 IMG_2302 IMG_2311 IMG_2479 IMG_2588 IMG_2761 IMG_4425 Mahendra-A010_C024_0320TV main-pic-on-bikeA007_C006_0319E8 Thirimadura-A002_C004_0328EP vlcsnap-error0821111

 


Recommended Articles