ශ්‍රී ලංකා බංග්ලාදේශයත් සමගින් එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක විදේශ විනිමය හුවමාරුවක් සඳහා වන එකඟතාවකට පිවිසීමේ පුවත පසුගිය දින කිහිපයේදී රට තුළ ඉහළ කතාබහකට ලක්විය. මෙරට තුළ පවතින එක්සත් ජනපද ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මෙම පහසුකම වෙත පිවිස තිබේ.
මෙතෙක් කලක් ශ්‍රී ලංකාව මෙවැනි විදේශ විනිමය හුවමාරු පහසුකම් සම්බන්ධ එකඟතා වෙත පිවිසුණේ දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාවත් සමගිනි. එරට සතු ආර්ථික ශක්තිය අනුව හදිසි අවස්ථාවකදී තවත් රටක් වෙත මෙවැනි ආකාරයෙන් ඩොලර් ප්‍රමාණයක් ලබා දීමේ හැකියාව ඔවුන්ට තිබුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටත් වඩා පහළ සමාජ, ආර්ථික වටපිටාවක් පවතින බවට විශ්වාස කෙරූ බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවටත් ඩොලර් ලබාදීමේ හැකියාවක් පැවතීම පිළිබඳව කාටත් ඇත්තේ පුදුමයකි. එය කණගාටුවක් මෙන්ම ලැජ්ජාවක්ද මිශ්‍ර වූ පුදුමයකි.
එහෙත් සත්‍යය එයයි, මිලියන 163ක ජනතාවක් වෙසෙනා බංග්ලාදේශය අද ශ්‍රී ලංකාවට වඩා ආර්ථික අතින් බොහෝ ඉදිරියට ගොස් තිබේ. 2019 වන විට බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 302.6 කි. ශ්‍රී ලංකාවේ එය ඩොලර් බිලියන 84.01කි. වසර 2000 දී බංග්ලාදේශයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 53.37ක් විය. එම කාලයේදී ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 16.33 ක් විය. ඒ අනුව ගෙවුණු වසර 20දී බංග්ලාදේශයේ ආර්ථික කෙසේ වර්ධනය වී ඇත්දැයි මනාව වටහා ගත හැකිය.
එසේම 2020 වසර සඳහා ආසියාවේ ආර්ථික වර්ධන වේගයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිදුකළ පුරෝකතනයකට අනුව බංග්ලාදේශයේ ආර්ථිකවර්ධන වේගය 8%ක් විය. එය ඉන්දියාවේ 7.2%ක ප්‍රතිශතයක් වූ අතර, ශ්‍රී ලංකාවේ එය 3.5%ක් ලෙස සටහන් විය. (COVID-19 වසංගතයේ බලපෑම නිසා ආර්ථික කටයුතු වෙත එල්ල වූ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2020 වසරේ මුල් කාර්තුවේදී ඍණ අගයකටද පත් විය.)
මෙම සාර්ථකත්වයන්ද සමගින් අද වනවිට ලෝක ආර්ථික විශ්ලේෂකයන් බංග්ලාදේශයේ ආර්ථිකය සසඳන්නේ ඉන්දියාවේ ආර්ථිකයත් සමගිනි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසරේ සඳහන් කර තිබූ ආකාරයට ඉදිරි පස් වසරක කාලය තුළදී බංග්ලාදේශ සිය දළ ජාතික නිෂ්පාදිතය (GDP) වෙත එක්කරන මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 171කි. එම කාලසීමාවේදීම ඉන්දියාවත් ඩොලර් ට්‍රිලියන 1.4ක් සිය ආර්ථිකය වෙත එක්කරගනු ඇතැයි පුරෝකතනය කර තිබුණි.
කෙසේ වෙතත් ඉන්දියාව වෙත බලපා තිබෙන COVID-19 දෙවැනි රැල්ල නිසා එරට ආර්ථික කටයුතු අඩපණවීමෙන් මෙම පුරෝකතනය අඩුවෙනු ඇති බවත්, බංග්ලාදේශය ඉන්දියාව හා සමාන මට්ටමකට පත් වෙනු ඇති බවටත් අදහස් ඉදිරිපත්ව ඇත.
එසේම 2020 වසරේදී ඉන්දියාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය වන ඩොලර් 1,877 වසර 2025 දී ඩොලර් 2,729ක් බවට පත්වෙනු ඇති බවත්, 2020 දී ඩොලර් 1,888 ක් වන බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 2,756ක් දක්වා ඉහළ යනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකතනය වී තිබේ. ඉන්දියාවට සාපේක්ෂව බංග්ලාදේශයේ ජනගහනයේ වර්ධනය යම් තරමකින් පාලනයවීමත් ඊට හේතු වී ඇත.
බංග්ලාදේශය මෙලෙස ආර්ථික අතින් දකුණු ආසියාවේ ප්‍රමුඛයෙකු බවට පත්වීමට හේතු වූ කාරණා කිහිපයකි. 1971 වසරේදී ඔවුන් ඉන්දියාවෙන් බෙදී වෙනම රටක් බවට පත්වන විට සැලකුනේ අන්තදුගී රටක් ලෙසිනි. මෙම තත්ත්වය දශක ගණනක් පුරා පැවතුණි. එහෙත් 2005 වසරෙන් පසුව බංග්ලාදේශය මෙලෙස ආර්ථික වර්ධනයේ නිවැරදි මාවතට වැටුණි.
එහිදී මූලිකවම බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය එරට ආර්ථිකය වෙත ශක්තියක් වී තිබේ. ශ්‍රී ලංකාව මෙන් 1970 දශකයේදී පමණ ආරම්භ වූ මෙම ඇඟලුම් කර්මාන්තය අද එක්සත් ජනපද ඩොලර් බිලියන 30ක ව්‍යාපාරයකි. අද ඔවුන්ගේ ප්‍රධානම අපනයන ආදායම ලබා දෙන්නේ එම කර්මාන්තය හරහායි.
එහෙත් ඇඟලුම් නිෂ්පාදනය තුළම නොනැවතුණු බංග්ලාදේශය සිය ආර්ථිකය තවත් ක්ෂේත්‍ර ගණනාවක් වෙත විවිධාංගීකරණය කර ගැනීමට සමත්ව සිටියි. එහිදී සේවා අංශය ප්‍රධාන තැනක් ගන්නා අතර අද වනවිට ක්ෂුද්‍ර මූල්‍ය සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් එහිදී මූලික වී තිබේ. එරට සේවා අංශය දළ ජාතික නිෂ්පාදිතය වෙත ලබාදෙන දායකත්වය 53%කි. ඒ අතරින් තොරතුරු තාක්ෂණික නිෂ්පාදන අපනයන වටිනාකම 2021 වනවිට ඩොලර් බිලියන 5ක් දක්වා වර්ධනය කරගැනීම බංග්ලාදේශයේ අරමුණයි.
බංග්ලාදේශය තුළ සිදු කෙරෙන මෙම ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි එරට රජය දක්වන සහයෝගයද ඉහළය. දැනට දශක කිහිපයකට පෙරාතුව බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක වූ ග්‍රාමීන් බැංකුව වැනි රාජ්‍ය නොවන සංවිධාන එරට ආර්ථික සහයෝගයේ ආරම්භයයි. අද එය එරට BRAC බැංකුව විසින් භාරගෙන තිබේ.
මෙම ශක්තිමත් පදනමින් ගොඩනැගුණු එම ආර්ථිකය වෙත වඩාත් සාර්වආර්ථික ක්‍රමෝපායන් යොදා ගනිමින් එය තව තවත් ශක්තිමත් කිරීමට බංග්ලාදේශය සමත්ව ඇත. පහළම මට්ටමේ පවතින ව්‍යාපාර වෙත අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීම මෙන්ම සැමවිටම ඔවුන්ට අවශ්‍ය දැනුම ලබාදීම හරහා ඔවුන් ආර්ථිකය වෙත දක්වන දායකත්වය ඉහළ නැංවිමට පියවර ගෙන තිබේ. එහිදී මෙම ව්‍යාපාරයන් වෙත ඩිජිටල් ක්‍රමවේද හුරුකරවීමත් බංග්ලාදේශය සිදු කරමින් සිටින අතර ඊට අදාළ පහසුකම්ද සංවර්ධනය කරමින් සිටියි.
එසේම රට තුළ නව ව්‍යාපාරයන් ඇරඹීම සඳහා වන විදේශ ආයෝජන වෙත වඩාත් ඉහළ පහසුකම් සලසන දකුණූ ආසියාවේ රටක් බවටද බංග්ලාදේශය අද පත්ව සිටියි. මේ හරහා රැකියා උත්පාදනය ඉහළ නැංවීම සිදු කරන අතර, අද වනවිට බංග්ලාදේශයේ දුප්පත් බවද ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.
මීට අමතරව ඉදිරි ආයෝජනයන් ලෙස සලකමින් බංග්ලාදේශය අද සිය අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය පද්ධතියද පෙර නොවූ විරූ මට්ටමින් දියුණු කරමින් සිටියි.
ඒ අනුව ඉන්දියාවට පසුව දකුණු ආසියාවේ බලවතා බවට බංග්ලාදේශය පත්වීම කිසිවෙකුටවත් නැවැත්විය නොහැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ බලධාරීන් දැන්වත් බංග්ලාදේශය හෝ ආදර්ශයට ගනිමින් මෙරට ආර්ථිකය සකස් කර නොගතහොත් ඉදිරියේදී ඩොලර් මිලියන 200ක විදේශ විනිමය හුවමාරුවකින් නොව බංග්ලාදේශයෙන් ලබා ගන්නා ණය මත යැපීමට ශ්‍රී ලංකාවට සිදු වීම අනිවාර්යය වෙනු ඇත.