ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්කරමින් හා ආර්ථිකයට බාධා ඇති කරන රටේ වත්මන් අර්බුදය විසඳීමට සියලු මතභේද පසෙකලා එකට එක්ව වැඩ කරන ලෙස මෙරට ඇඟළුම් කර්මාන්තය නිවේදනයක් නිකුත් කරමින් සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
වත්මන් සාර්ව ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට කඩිනම් ක‍්‍රියාමාර්ග නොගතහොත් මෙම තත්ත්වය තවත් උග‍්‍රවී ශ‍්‍රී ලාංකේය ජනතාවට සමාජීය හා ආර්ථිකමය වශයෙන් දරුණු ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි එම කර්මාන්තය අනතුරු අඟවයි.
ඇඟළුම් කර්මාන්තය වසර ගණනාවක සිට අත්කර ගත් ප‍්‍රගතිය නැති කර දැමූ පෙර නොවූ විරූ කොවිඩ්-19 වසංගතයේ අහිතකර බලපෑම්වලින් ශ්‍රී ලංකාව තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටී.
මෙවැනි පසුබිමක, ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය නියෝජනය කරන ප‍්‍රධාන ආයතනය වන ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය (JAAF) පවසන්නේ වත්මන් අර්බුදයට ප‍්‍රායෝගික විසඳුමක් ලබාදීමට සහ එය ක‍්‍රියාත්මක කිරීමට රජය නිසි ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා ගෝලීය වෙළෙඳපොළ වෙත ප‍්‍රවේශය ඇතුළුව ශ්‍රී ලංකාවට දිගු කාලීන වශයෙන් අඛණ්ඩව අධික පිරිවැයක් දැරීමට සිදුවීම ඉතා අවදානම් තත්ත්වයක් වී ඇති බවයි.
ඇඟළුම් යනු ශ‍්‍රී ලංකාවේ තනි විශාලතම විදේශ විනිමය උපයනු ලබන අංශය වන අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට 6% ක දායකත්වයක් සපයනු ලබයි. එම අංශය සේවකයින් 350,000කට පමණ ස්ථිර රැකියා අවස්ථා සහ අමතර 700,000ක පිරිසකට වක‍්‍ර රැකියා අවස්ථා සලසා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් JAAF ප‍්‍රකාශකයෙකු පැවසුවේ, "වත්මන් අර්බුදය මාස කිහිපයක් තිස්සේ පැනනගිමින් පවතින අතර, රජය ඒ පිළිබඳව නිසි ක‍්‍රියාමාර්ගයක් නොගැනීම නිසා සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී තිබෙනවා. විදුලිය ඇනහිටීම් හා ප‍්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා දැනටමත් බොහෝ කුඩා ආයතන වසා දැමීමට සිදු වී තිබෙන අතර නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් තිබෙනවා. සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමේ උත්සාහයන් දේශපාලන අර්බුදයකට තුඩුදී තිබෙන නිසා මේ තත්ත්වය තවදුරටත් උග‍්‍ර වී තිබෙනවා.
මෙම තත්ත්වය තවත් දරුණු වීමට පෙර තීරණාත්මක අභියෝගවලට මුහුණදීම සඳහා ක‍්‍රියාත්මක කළ හැකි කෙටි හා මධ්‍ය කාලීන විසඳුම් ක‍්‍රියාවට නැංවීම සඳහා ක්ෂණික, තීරණාත්මක ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා. වත්මන් අර්බුදයේ බරපතලකම සැලකිල්ලට ගෙන රටේ සුබසාධනය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් සියලු පාර්ශ්වකරුවන් එකට එක්ව වැඩ කළ යුතුයි." යනුවෙනි.
ශ‍්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශ්වයන් සමග සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කඩිනමින් පත්කරනු ලබන මූල්‍ය හා නීති උපදේශකයන්ට JAAF පූර්ණ සහයෝගය දක්වයි. මෙමගින් පීඩනය අවම කරමින් ශ්‍රී ලංකාවට ණය සේවාවන් සඳහා ඇති වගකීම් තාවකාලිකව නවතා දැමීමට අවස්ථාව හිමිවෙයි. එමෙන්ම ඇති වී තිබෙන මෙම තත්ත්වය හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා අත්‍යාවශ්‍ය ආනයන සඳහා විශේෂයෙන්ම ඉන්ධන, LPG සහ ඖෂධ සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකාව IMF සමග සම්බන්ධ විය යුතුයි. දැනට ක‍්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් ප‍්‍රයෝජනයට නොගත් අරමුදල් හදිසි සහන වැඩසටහන් සඳහා නැවත වෙන් කිරීමට ලෝක බැංකුවේ සහය පැතීමද මෙම අර්බුදයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහනයක් වනු ඇත.
විශ්වසනීය ඇඟළුම් ගමනාන්තයක් සහ අපනයනකරුවෙකු ලෙස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ඇති කීර්තිනාමයට මෙම අර්බුදය දැඩි බලපෑමක් එල්ල කර තිබේ. රටේ වෙළෙඳ භාණ්ඩ අපනයන ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටියි.
"මේ නිසා අප ගැනුම්කරුවන් සමග දශක ගණනාවක් පුරා මහත් පරිශ‍්‍රමයක් දරා ගොඩනගා ගත් සබඳතාවන් එලෙසම පවත්වා ගැනීම බොහෝ අසීරු වේවි." ප‍්‍රකාශකයා වැඩිදුරටත් පවසයි. "අපට මෙම කිසිඳු සබඳතාවක් අහිමි කර ගත නොහැකියි. මේ හේතුවෙන් කර්මාන්තයට, ආර්ථිකයට සහ අපනයන ක්ෂේත‍්‍රයට ඇති කරනු ලබන අහිතකර බලපෑම සුළුපටු නොවන අතර, ජීවනෝපායන් සහ රැකියා අහිමි වීමටද මෙය හේතු වේවි. එමෙන්ම අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් සැපයීමට රටට ඇති හැකියාවද සීමාවනවා වගේම, බාහිර දිගු කාලීන මූල්‍ය අවස්ථාවන් වලටද මෙමගින් දැඩි බලපෑමක් ඇති කරනවා."
විදුලිය කැපීම් දීර්ඝ කිරීම සහ අවිධිමත් ලෙස විදුලිය විසන්ධි කිරීම් නිසා නිෂ්පාදන සැලසුම් සහ නිෂ්පාදන ක‍්‍රියාවලියට බාධා එල්ල කර තිබේ. මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ය. විදේශ විනිමය අනිවාර්ය සාධකයක් වී තිබෙන නිසා අමුද්‍රව්‍ය ආනයනයට ද ඍජු බලපෑම් එල්ල කර තිබේ.