මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් පත්වෙයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකාවක ලෙස ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය 2019 ජූලි 29 වැනිදා සිට පත්කර තිබේ.

සිය ආචාර්ය උපාධිය ලබාගැනීමෙන් පසුව 1994 දී ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා සම්බන්ධ වී දැනට එහි විධායක අධ්‍යක්ෂවරියක සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරන ඇය, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කලාපීය වෙළෙඳ ඒකාබද්ධතාව සහ ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ ලිපි රැසක් ලියා පළකොට ඇත.

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ පෘථුල අත්දැකීම් සහිත ඇය දැනට සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ වෙළෙඳ සහ ඵලදායීතා කොමිසයේ සේවය කරන අතර, 2017 සිට 2018 දක්වා ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරසර සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකාවේ දැක්ම, 2030 සැලසුම් කිරීම සඳහා වූ විශේෂඥ කමිටුවේද සේවය කළාය.



Recommended Articles